ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

19ට 'විරුද්ධව ඡන්දේ දීලා ගමට එන්න එපා ආයුබෝවන්'

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනෙනු ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබා දුන් සහතිකයත් සමග මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ.

සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර පැවති රැළියට භික්ෂූන් වහන්සේලා සහ ආගමික නායකයන්, සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.

'මහින්ද රාජපක්ෂ මහත්මයට ලැබිච්ච පනස් අට ලක්ෂයේ ඡන්ද, එතන තියෙන්නේ මොනවද. මගේ පලවෙනි ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබේ.එතකොට මේ පනස් අට ලක්ෂේත් කැමතියි මේක වෙනස් කරනවට' මාදුළුවාවේ සෝභිත හිමි පැමිණ සිටි ජනතාව අමතමින් කියා සිටියහ.

‘දහඅට වෙනි සංශෝධනයට මේ මන්ත්‍රීවරු ඡන්දේ දීලා ඔවුන් ලොකු පාපකර්මයක් ඉටු කළා. ඒ වගේම දේශද්‍රෝහියෙක් වුනා. ජනතාවට ඔවුන් දේශප්‍රේමීන් කියලා පෙන්නන්න ඕනි නම් මේ දහනව වැනි සංශෝධනයට ඔවුන් ඡන්දය දිය යුතුයි’ උද්ඝෝෂණයට එක් වූ සත්‍යවේල් පියතුමා පැවසූහ.

'19 එපා'

මේ අතර දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ කිසිඳු මන්ත්‍රීවරයකු ඡන්දය නොදිය යුතු බව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

‘අපේ රටේ භෞමික අඛණ්ඩතාව වගේම විශේෂයෙන්ම සිංහල බෞද්ධ ප්‍රජාවගේ සම්පුර්ණම අයිතිවාසිකම් උල්ලංඝනය කරන විදිහේ ඉතාම බරපතළ වූ යෝජනාවක් තමයි දහනව වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කෙරෙන්නේ’ ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

එම මාධ්‍ය හමුවට ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු භික්ෂූන් වහනේස්ලා පිරිසක් එක් වී සිටියහ.