ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තෙවන වරටත් ඔලිම්පික් යන ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

ලන්ඩන් මැරතන් තරගයේ ශ්‍රී ලංකා වාර්තාවක් බිඳ දැමීමත් සමග අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ තෙවන වරටත් ඔලිම්පික් තරගයක් නියෝජනය කරන ප්‍රථම ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩකයා බවට පත් වී තිබේ.

පසුගියදා පැවති ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වූ 38,000 කට ආසන්න තරගකරුවන් පිරිසක්‌ අතුරින් 14 වැනි ස්ථානයට පත් තිස් හත් වියැති ඉන්ද්‍රජිත් කුරේ විසින් බිඳ හෙළනු ලැබුවේ වසර 40 ක්‌ පැරණි එස්‌එල්බී රෝසාගේ ශ්‍රී ලංකා වාර්තාවක්‌.

ඒ අනුව සිය ඉසව්ව පැය 2 යි මිනිත්තු 13 යි තත්පර 13 කින් අවසන් කළ ඉන්ද්‍රජිත් කුරේ වසර දෙදහස් දාසයේදී බ්‍රසීලයේ ‘රියෝද ජැනයිරෝ’හි පැවැත්වීමට නියමිත ඔලිම්පික්‌ තරගාවලියේ මැරතන් ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.

‘මම අනිවාර්යෙන්ම ලංකාව වෙනුවෙන් රියෝ ඔලිම්පික් උළෙල දුවනවා. ලංකාවේ ඉතිහාසේටම මැරතන් ක්‍රීඩකයෙක් තුන් වන වතාවටත් ඔලිම්පික් යන එකම ක්‍රීඩකයා’ ඉන්ද්‍රජිත් කුරේ කියා සිටියේ බීබීසීයේ සරෝජ් පතිරණ හා සාකච්ඡාවකට එක් වෙමින්.

ලන්ඩනයේ වෙසෙන ඉන්ද්‍රජිත් කුරේ රැකියාව කරන අතරතුර සිය වියදමින් කෙන්යාවට ගොස් පුහුණු වීම් කටයුතුවල නිරත වූ බවත් සඳහන් කළේය.

‘දුර දුවන ක්‍රීඩකයෝ හැමෝම පුහුණුවීම් කරන්නේ කෙන්යාවේ ඊඩ්න් කියන නගරයේ. ඒ රටේ තියන උසම ස්ථානය. අඩි අටදාහක් පමණ උසින් අපි පුහුණුවීම් කරන්නේ’ ඔහු පැවසීය.

පුහුණුවීම් කටයුතු සඳහා තෙවරක්ම සිය වියදමින් කෙන්යාවට ගොස් ඇති ඉන්ද්‍රජිත් කුරේ තමාගේ පුහුණුවීම් කටයුතු සඳහා ආධාර කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියත් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වැඩිදුරටත් කියා සිටියේ.

සම්පුර්ණ සාකච්ඡාවට සවන් දෙන්න.