ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බොදු බල සේනාවෙන් අලුත් පක්ෂයක් සහ අලුත් නායකයෙක්

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරට තවත් දේශපාලන පක්ෂයක් බිහි කරන බව බොදු බල සේනා සංවිධානය විසින් තහවුරු කරනු ලැබ ඇත.

බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ, එම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථවලට පටහැණි නොවන මට්ටමින් අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ කාර්යයක නියැලී සිටින බවයි.

‘විශේෂයෙන්ම අද සිංහල බෞද්ධ යයි කියා ගන්නා දේශපාලනඥයන් හැසිරෙන ආකාරය පිළිකුල් සහගත’ වන බවයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටින්නේ.

උන්වහන්සේ බීබීසී සංදේශය සමඟ පවත්වන ලද සම්පූර්ණ සාකච්ඡාවට මෙම පිටුව තුළ ඔබට සවන් දිය හැකිය.

පසුගිය ජනාධිපතිවරණය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාරය දක්වමින් බොදු බල සේනා මහා ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ, අද කවර අදහස් පළ කළත් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහයෝගය දැක්වීමට ගත් තීන්දුව පිළිබඳව කණගාටු නොවන බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා තිබුණේ ‘බොදු බල සේනා ව්‍යාපාරය පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු පරාජයට පත් කරනු ලැබීම සඳහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මගින් ආරම්භ කරන ලද්දක්’ වූ බවයි.

නව දේශපාලන වාතාවරණය යටතේ නව ජාතික නායකයකු සමාජගත කරන බව කියා සිටි බොදු බල සේනා මහා ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ආරක්ෂාව සහතික කර ගත යුතුව ඇති හෙයින් එම නායකයාගේ අනන්‍යතාවය දැන්ම හෙළිදරව් නොකරන බවයි සඳහන් කළේ.