ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇමෙරිකානු සහයෝගය

Image copyright bbc

ශ්‍රී ලංකාව නව ආණ්ඩුවේ පාලනය යටතේ විශාල ප්‍රගතියක් ලබා ඇතැයි ඇමෙරිකානු රාජ්‍යලේකම් ජෝන් කෙරී පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ කොළඹ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුවයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයකු වසර දහයකට පසුවයි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන්නේ.

2004 සුනාමි ව්‍යසනයෙන් පසුව එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් 2005 වසරේ ශ්‍රී ලංකාවට සැපත් විය.

ඉන් පෙර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයකු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ වසර තිස් හතකට පෙරයි.

19 සංශෝධනය

ඒ එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පදවියේ කටයුතු කළ විලියම් පියර්ස් රොජර්ස් 1972 වසරේදී ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයයි.

Image copyright bbc

අද (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වැඩි දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය පෙනී සිටින බවයි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ පැවැත්වුන හමුවක දී අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අගය කිරීමට ලක් කළේය.

‘අද අපි කතා කළා ශ්‍රී ලංකාව මාස කීපයක් තුල ලබා ඇති ප්‍රගතිය පිළිබඳව.ඒ ප්‍රගතිය අපට දකින්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම ,ජනතාවට වග කියන පාලනයක් අතින් ලද ප්‍රගතිය ,ජනාධිපති පදවිය සතුව පැවති අසීමිත බලතල මහජනයාට පැවරීම් ආදී කරුණු අතින් ලබා ඇති ප්‍රගතිය අපට පෙනෙනවා’ යයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසීය.

වෙසක් සමයේ සංචාරය

විදේශ ඇමති මංගල සමරවීර අදහස් දක්වමින් ‘මේ කුඩා දිවයින ජාත්‍යන්තර සම්බන්ධතා අතින් ප්‍රධාන කේන්ද්‍රීය ස්ථානයකට ගෙන එම අතින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය ඉතා වැදගත්’ වන බවයි කියා සිටියේ.

‘බහුවිධ අරමුණු සහිත ද්විපාර්ශ්වීය සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට අපි එකඟ වුනා. ඒ වගේම දෙරටේ ජනතාවන් අතර ශක්තිමත් සම්බන්ධතාවක් ඇති කිරීමට පදනම සකස් වුනා. අඛණ්ඩ පදනමක් මත මේ සම්බන්ධතා පෙරට ඉවහල් වෙන සංවාදාත්මක ආකෘතියක් නිර්මාණය කිරීමටත් අපි එකඟ වුනා’මංගල සමරවීර විදේශ ඇමතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයම වෙසක් දිනය සමරන මොහොතක රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවීම වැදගත් කරුණක් වන බවත් මංගල සමරවීර විදේශ ඇමතිවරයා සඳහන් කළේය.