ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංහිඳියාව උදෙසා 'සහයෝගයෙන් ක්‍රියාකරන්න'

ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ ජනතාව අතර සංහිඳියාව ඇතිකර ගැනීම් වස් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන මෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටියේය.

ඒ සඳහා එක්සත් ජනපදයේ පූර්ණ සහාය හිමිවන බවත් ඔහු සඳහන් කොට තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම ඉල්ලීම කළේ ඉරිදා උදය වරුවේ කොළඹ දී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් හමු වූ අවස්ථාවේ.

සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ, උතුරු නැගෙනහිර දෙපළාත් යළි ඒකාබද්ධ කොට බලය බෙදාහැරීමේ පාලන ක්‍රමයක් ඇති කරන මෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි සන්ධානය ජෝන් කෙරී ගෙන් ඉල්ලා සිටි බවයි.

යුද හමුදාව අත්පත් කරගෙන සිටීම හේතුවෙන් යුද්ධයෙන් විපතට පත් වූ වැසියන් 67,000 ක් තවමත් යළි සිය ඉඩම්වල පදිංචි වීමට නොහැකිව සිටින බව පවසන ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා, හමුදාව එම ඉඩම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජයට බල කරන මෙන් සන්ධානයේ දූත පිරිස රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

දෙදින නිල සංචාරයක් සඳහා සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලඟා වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉරිදා දිවයිනෙන් පිටත්ව ගියේය.