අගමැති අපේක්ෂක ඉල්ලීමට 'ප්‍රතිචාරයක් නෑ'

Image copyright AP AFP
Image caption ඉදිරියේදී තවත් සාකච්ඡා වටයකට සහභාගි වීමට නායකයන් දෙපොලගේ එකඟතත්වය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කරන මෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපත් ප්‍රතිචාරයක් පළ නොකළ බව බිබිසී යට වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පැවති හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වී තිබෙන ප්‍රධානතම ඉල්ලීම එයයි.

එම ඉල්ලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිසි පිළිතුරක් ලබා නොදුන් බවයි, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළේ.

තවත් සාකච්ඡා වටයක්

"කවුරුත් කැමැත්තෙන් බලාගෙන ඉන්න අගමැති අපේක්ෂක කම ගැන. අද සාකච්ඡාවේදී ඒ ගැන අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් විසඳුමක් ලැබුනේ නැහැ," ඔහු පැවසීය.

Image copyright Kumara Welgama
Image caption "කවුරුත් කැමැත්තෙන් බලාගෙන ඉන්න අගමැති අපේක්ෂක කම ගැන. අද සාකච්ඡාවේදී ඒ ගැන අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් විසඳුමක් ලැබුනේ නැහැ"

අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වූයේ දැයි, සාකච්ඡාවට සහභාගි වූ දුමින්ද දිසානායක අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඒ පිළිබඳව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණයක් ගනු ඇති බවයි.

දුමින්ද දිසානායක අමාත්‍යවරයා සාකච්ඡාවට එක්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය නියෝජනය කරමින්.

මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ඉදිරිපත්වූ තවත් ඉල්ලීමක් වූ පළාත් පාලන ආයතනවල කාලය දික් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බවත් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දේශපලන මැදිහත්වීමක් සිදු කිරීමට බලය පැවරෙන අන්දමින් නිකුත්කර ඇතැයි චෝදනා එල්ලවී ඇති ගැසට් නිවේදනය ඉවත්කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකඟ වූ බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

ඉදිරියේදී තවත් සාකච්ඡා වටයකට සහභාගි වීමට නායකයන් දෙපොල එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර