ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අහරක් නැතිව පහර කමින් සෞදියේ දුක් විඳින ප්‍රියන්තිකා

හාම්පුතුන්ගේ හිරිහැර දරා ගත නොහැකිව නිවාස ගණනාවකට මාරුවෙමින් සිටින තමා නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා මෙන් සෞදියේ රැකියාවට ගොස් සිටින ප්‍රියන්තිකා සෙනවිරත්න බැගෑපත්ව ආයාචනා කරන්නීය.

මීට මාස පහකට ඉහතදී සෞදි අරාබියේ සේවයට පැමිණි අවස්ථාවේ පටන් හාම්පුතුන්ගේ හිරිහැර දරාගත නොහැකිව නිවාස ගණනාවකට මාරුවෙමින් සිටින තමාට නියමිත වැටුපද නොලැබෙන බවයි ප්‍රියන්තිකා සෙනවිරත්න සංදේශයට කියා සිටියේ.

තමා අත්විඳින හිරිහැර පිළිබඳ පැමිණිලි කිරීමට අරාබි රැකියා ඒජන්සියට ගිය විට පහර කෑමට සිදු වන බව ඇය සඳහන් කළේ වේදනාවෙන් හඬා වැලපෙමින්.

‘අපේ මහත්තයා ඒජන්සියට ගිහිනුත් කතා කළා. තාම උත්තරයක් නැහැ. දැන් දවස් දාහතක් ඉවරයි. මගේ පාස්පෝර්ට් එක තියෙන්නෙත් ඒජන්සියේ’ ඇය සඳහන් කළාය.

දැන් තමන්ට ලැබෙන්නේ රාත්‍රී කෑම වේල පමණක් බවත් ඇය වැඩිදුරටත් කියා පැවසුවාය.

සිය බිරිඳට උපකාර කරන මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටියත් පිළිසරණක් නොලැබුණ බවයි ඇගේ සැමියා නවරත්න සුගතපාල සංදේශයට කියා සිටියේ.