ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැතිවරණ සංශෝධන: සුළු පක්ෂවලට 'අවාසියක් නෑ'

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් වූ මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳ යෝජනාව මගින් සුඵ පක්ෂවලට හෝ සුළු ජාතික පක්ෂවලට හිමිවන ආසන සංඛ්‍යාව කිසි ලෙසකින් හෝ අඩු නොවන බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.

නව යෝජනා අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 255 දක්වා ඉහළ යන අතර දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය හා කේවළ ක්‍රමයට මන්ත්‍රීන් 196 දෙනකුත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 59 දෙනකුත් තෝරාගැනීමට එමගින් යෝජනා කෙරේ.

යෝජිත ක්‍රමයට අනුව වත්මන් දිස්ත්‍රික් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ එක් එක් පක්ෂයට ලබා ගත හැකි ආසන සංඛ්‍යාව එලෙසම හිමිකර ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇති බවයි, කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බිබිසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේ. (වීඩියෝව නරඹන්න)

"අද සිදුකරන ගණන් හැදීමටම තමයි, මේ නව ක්‍රමයේත් ගණන් හැදීම සිදුවන්නේ. වැදගත් කාරණය තමයි 3, 4 ,5 යන ස්ථාන දිනාගන්නා කණ්ඩායම් වල මන්ත්‍රී ධූර සංඛ්‍යාව එලෙසම ආරක්ෂා වෙනවා. බොහෝවිට වැඩිවෙන්නත් පුළුවන්," ඔහු පැවසීය.

යම් ආසනයකට තරඟ කර පරාජයට පත්වූ අපේක්ෂකයකුට දිස්ත්‍රික් කෝටාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ හැකියාවක් ඇති බවද රජිත් කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් පැවසීය.