‘එදා සුන්දර කතා - අද ආර්ථික න්‍යාය සූත්‍ර’ - රාජිත

Image caption සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න

ආණ්ඩු පක්ෂයේ සිටින විට හැමදාමත් සුන්දර කතා කියන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විපක්ෂයට ගිය විට නොයෙකුත් න්‍යාය සූත්‍ර ඉදිරිපත් කිරීමට පටන් ගන්නේ යයි සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී පළ කළ අදහසකට ප්‍රතිචාරය දක්වමින්.

‘බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එකම සංඛ්‍යා ලේඛනය ආණ්ඩු පක්ෂයේ සිටින විට එක විධියකටත් විපක්ෂයට ගිය විට එයම තවත් විධියකටත් විග්‍රහ කිරීමට දක්ෂයෙක්’

සෞඛ්‍යය ඇමතිවරයා බීබීසී සංදේශයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී කියා තිබුනේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පාලනය යටතේ පසුගිය දා සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර හා සම්බන්ධ වංචාව නිසා දැනට අත් වී ඇති මූල්‍ය අලාභය රුපියල් කෝටි 4500 කට වඩා වැඩි බවයි.

විශ්වාසයක් නැහැ

‘එහෙත් කිසිදු පරීක්ෂණයකින් තොරව එම ගනුදෙනුව නිවැරදි බවත් මහබැංකු අධිපතිවරයා නිර්දෝෂී බවත් මුදල් ඇමතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. එවැනි වගකිව යුතු තැනැත්තකු වගකීමෙන් තොරව ක්‍රියාකර ඇති නිසා ඔහු පිළිබඳව විශ්වාසය කඩ වෙලා තියෙනවා’ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ආදායම් අඩුකර ගනිමින් වියදම් වැඩි කර ගෙන ඇති මේ ආණ්ඩුවට රට කර ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එම තත්වය යටතේ ආණ්ඩුව බලාපොරොත්තු වුනේ මුදල් අච්චු ගැසීම යයි සඳහන් කළ මන්ත්‍රීවරයා එවැනි තත්වයක් වුනොත් මේ වසරේ අවසාන භාගය වන විට ජනතාවට උසුලා ගත නොහැකි ජීවන වියදම් පීඩනයක් දැරීමට සිදු විය හැකි බවයි පවසන්නේ.

Image caption පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

එවැනි තත්වයක් උද්ගත කිරීමට වග කිව යුතු මුදල් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය

විපක්ෂයේ මන්ත්‍රීවරයා භාන්ඩාගාර බිල්පත් යෝජනා පරාජය කිරීමක් ගැන සඳහන් කලත් එවැනි යෝජනා පරාජය නොකිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන බව පෙන්වා දුන් සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න විපක්ෂය එවැනි ක්‍රියාමාර්ගයකට ගියේ පෙරටුගාමී පක්ෂයේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අදහසක් අනුව බවත් පෙන්වා දෙයි.

විදේශ සංචිත ඩොලර් බිලියන හයකට ඉහල මට්ටමක පැවතීම සතුටට කරුණක් වන බව සඳහන් කරන සෞඛ්‍යය ඇමතිවරයා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇතැම් අවධිවල එය බිලියන එකයි දශම ගණනකට වැටුණ අවස්ථාවත් පැවති බවත් සිහිපත් කළේය.

වත්මන් මහ බැංකු අධිපතිවරයා පදවියට පත් කරනු ලැබීම සම්බන්ධයෙන් පෞද්ගලිකව තමාත් විරෝධය පළ කළ බව සඳහන් කළ සෞඛ්‍යය ඇමතිවරයා එම පත් කිරීම මගින් රජයට හානියක් සිදු වූ බව පිලි ගන්නා නමුත් මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය නොවන්නක් වන හෙයින් මුදල් ඇමතිවරයා පදවියෙන් ඉවත් විය යුතු බව කියා සිටින්නේ එම කාරණය වත් නොදන්නා පුද්ගලයන් වන බවයි කියා සිටින්නේ.

විශ්වාස භංග යෝජනාව

රටේ ආර්ථිකයට අදාළ කරුණු මුල් කර ගෙන මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසන්නේ .

විශ්වාස භංග යෝජනාවට අදාළ විවාදය සඳහා දින තුනක කාලයක් ලබා දෙන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 90 දෙනකු පමණ මේ වන විට අත්සන් තබා ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයද ඊට ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.