විල්පත්තුව: ජනාධිපතිගෙන් තහනම් නියෝගයක්

Image copyright AFP
Image caption නීති විරෝධී ලෙස එම ප්‍රදේශ වල කැලෑ කැපීම සහ ඉඩම් පවරා ගැනීම සිදු කරන්නේ නම් ඔවුනට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වලට උපදෙස් දී තිබේ

විල්පත්තු වන උද්‍යානය අවට කැලෑ කැපීම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරීම ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගයක් අනුව අද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

මේ පිළිබඳව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර ඇති අතර එම ප්‍රදේශවල සියළු රාජ්‍ය නිලධාරීන්ටද ඒ පිළිබඳව දන්වා යවා තිබේ.

නීති විරෝධී ලෙස කිසිවෙකු හෝ එම ප්‍රදේශ වල කැලෑ කැපීම සහ ඉඩම් පවරා ගැනීම සිදු කරන්නේ නම් ඔවුනට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වලට උපදෙස් දී ඇති බවයි නිවේදනයෙහි සඳහන් වන්නේ.

මේ අතර මේ අතර විල්පත්තු අභයභූමියේ සිදුවන වන සංහාරය, අනවසර පදිංචි කිරීම්, දැව ජාවාරම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, පරිසර සංවිධාන සමඟ එක්ව අද විල්පත්තු වනයේ විශේෂ විමර්ශනයක යෙදුණි.

විල්පත්තු වනයේ වසර ගණනාවක් පුරා දේශපාලන බලය මත සිදුවූ අනවසර පදිංචි කිරීම්, දැව ජාවාරම් ආදී පාරිසරික විෂමාචාර ක්‍රියාවන්ට පසුගිය ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් මේ වන විට කිසිදු අවධානයක් යොමුකර නැති බැවින් පක්‍ෂයක් හැටියට එම පාරිසරික ගැටලුව ගැන සොයා බලා ඊට අදාළ විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට ජවිපෙ තීරණය කොට ඇති බව ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

අණ පනත් උල්ලංඝනය

අදාළ බලධාරීන් සහ ජනතාව ඉදිරිපත් කළ කරුණු අනුව කිසිදු වරදක් සිදුවී නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

නමුත් වන රක්ෂිතයේ කැලෑ එලි කර ඇති ආකාරය දුටු බව පවසන ලාල් කාන්ත මන්ත්‍රීවරයා, ඊට හේතු දක්වන දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ඉහල බලධාරීන් විසින් ගෙන ඇති තීන්දුවකට අනුව එම කැලෑ එළි කිරීම් සිදුවී ඇති බවයි.

නිරීක්ෂණ චාරිකාවට එක්වූ පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර පැවසුවේ විල්පත්තු වන රක්ෂිතයේ ඉදිකිරීම් මගින් පාරිසරික අණ පනත් සියල්ල උල්ලංඝනය කොට ඇති බවයි.