මූල්‍ය අපරාධ පොලිසිය නීති විරෝධීයි - ගෝඨාභය

Image copyright AFP

''නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම'' වළක්වන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීති විරෝධී ලෙස ස්ථාපිත කළ ඒකකයක් බවයි ඔහු කියා සිටියේ.

අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කොට එවනු ලබන පැමිණිලි පමණක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විභාග කරන බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා එම ඒකකය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කළ නොහැකි බවට චෝදනා කර තිබේ.

තම මූලික අයිතිවාසිකම් කඩ වන අයුරින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පළි ගැනීමේ චේතනාවෙන් කටයුතු කොට ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

මහඇමතිවරු

මේ අතර මධ්‍යම පළාත් මහඇමති සරත් ඒකනායක එම ධුරයෙන් ඉවත් කිරීම වළකමින් අභියාචනාධිකරණය සඳුදා තහනම් නියෝගයක් නිකුත් කළේය.

‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ඇමතිවරයා ඉවත් කර වෙනත් අයකු පත් කිරීමට පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. එය පළාත් සභා පනතට පටහැණි ක්‍රියාවක්. ඒ නිසා අපි අධිකරණයට පැමිණියා’ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේය.

තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ පළාත් සභා පනතට අනුව පළාත් මහඇමතිවරයා පත් කිරීම සහ ඉවත් කිරීම සඳහා බලපාන නීතිමය තත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදු කිරීමට අධිකරණයට අවශ්‍යව ඇති බවයි.

තමා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කළ පෙත්සමක් මේ අතර, අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

තීන්දුව ලබා දුන් අභියාචනාධිකරණය ප්‍රකාශ කොට ඇත්තේ එම ඉල්ලීම තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් පෙත්සම විභාග කිරීමට නීතිමය පදනමක් නොමැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර