ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ආණ්ඩුවට මුදල් හිඟයක් නැහැ’ - රවි

ආණ්ඩුවේ ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා මුදල් නොමැති බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයෙන් ඇය පෙන්වා දුන්නේ ආණ්ඩුව බාර ගන්නා විට රටේ පැවති මූල්‍ය තත්වය බව මුදල් ආමාත්‍ය රවි කරුණානායක පවසයි.

හිටපු ජනපතිනිය ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ රැස්වීමක් අමතමින් කියා තිබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි මූල්‍ය පාලනය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට පවා බැරි තත්ත්වයකට නව ආණ්ඩුව පත් වී ඇති බවයි.

මේ අතර අද (11) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී රවි කරුණානායක ඇමතිවරයා අදහස් දක්වමින්, ආණ්ඩුවේ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය තරම් මුදල් මහා භාණ්ඩාගාරයේ තිබෙන බවයි කියා සිටියේ.

‘මම හිතන්නේ හිටපු ජනාධිපතිනිය සඳහන් කළේ අපට ලැබුණු ආර්ථිකයේ තත්වය සම්බන්ධයෙන්. නැත්නම් ඒ ප්‍රකාශය පදනම් විරහිතයි, අපට ඕන තරම් සල්ලි තියෙනවා, හැබැයි වැරදි ව්‍යාපෘති වලට සල්ලි දෙන්න බැහැ’ මුදල් ඇමතිවරයා පවසයි.

තෙල් මිල තවත් පහළට ?

පසුගිය ආණ්ඩුවේ කටයුතු නිසා ආණ්ඩුවේ ආදායමට ආසන්න ප්‍රමාණයක් ණය පොළී ගෙවීමට ඇති නිසා ආණ්ඩුවට යම් බරක් ඇති බව පිළිගත් මුදල් අමාත්‍යවරයා එහෙත් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අතින් ආණ්ඩුවට ප්‍රශ්නයක් නොමැති බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය අඩු විය හැකි බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා වසර දොළහක් එක පිරිසක් පාලනය කල ආර්ථිකයක් දින 110 කින් වෙනස් කළ හැකිදැයි ප්‍රශ්න කළේය.

තෙල් මිල වැඩි කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බව පැවසූ අමාත්‍යවරයා ඒ වෙනුවට රජය තවත් තෙල් මිල අඩු කළ හැකිදැයි සාකච්ඡා කරමින් සිටින බවයි කියා සිටියේ.

තමා ලංකා පුත්‍ර බැංකුවෙන් අයථා ලෙස ණය ලබා දෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් මිලියන 2000 ක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.