ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දූෂිතයන් පාර්ලිමේන්තුවේ: 'වැරදිකාරයෝ ජනතාව'

දූෂිතයන්, වංචනිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාර්ලිමේන්තුවට තෝරා පත් කළේ ශ්‍රී ලංකාවේ ජනතාව බව පවසන මාදුළුවාවේ සෝභිත හිමියෝ, යළිත් වරක් ඔවුන් පත් නොකිරීම ජනතාවගේ වගකීම බව අවධාරණය කරති.

"වැරදිකාරයෝ එක පැත්තකින් ජනතාව. උත්තරීතර පාර්ලිමේන්තුවට යවන්න ඕනා සුදුස්සෝ කවුද, ප්‍රතික්ෂේප කළ යුත්තේ කවුද කියල ජනතාවත් දැනුවත් වෙන්න ඕන," එහිමියෝ සඳහන් කළහ.

එමෙන්ම පොරොන්දු ප්‍රකාර නව මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ වගකීමක් බවත් සෝභිත හිමියෝ පැවසූහ.

සෝභිත හිමියන් ඒ බව සඳහන් කළේ, මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරුණත් ඊළඟ මැතිවරණය පවත්වනු ලබන්නේ පැරණි මැතිවරණ ක්‍රමයටම බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතා විමුක්ති පෙරමුණට කර තිබෙන ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

බලාපොරොත්තු ඉටුවෙලා නෑ

"අපේ ඉල්ලීම අලුත් මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කරන්න. මෙවර ක්‍රියාත්මක කරන්න අපහසු නම් ඊළඟ වාරයක හරි ක්‍රියාත්මක කරන්න කියන එකයි අපිට කියන්න තියෙන්නේ," එහිමියෝ පැවසූහ.

Image caption ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ට (ඡායාරූපයේ මැද) පහරදීමට සම්බන්ධ සැකරුවන් අත්අඩංගුවට නොගැනීම 'තවමත් ජනතා බලාපොරොත්තු ඉටු වී නැති බවට සාක්ෂියක්'

"අපේ අපේක්ෂාව රටට යහපාලනයක් ඇති කර ගැනීම."

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආධාර කරමින් මැයි දිනයේ කිරුලපන පැවති රැස්වීම නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ට පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබීම බරපතල කණගාටුවට කරුණක් බවත් සෝභිත හිමියෝ සඳහන් කළහ.

"හොරු, මංකොල්ලකාරයෝ, වංචනිකයෝ, කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ තවමත් නිදැල්ලේ හැසිරෙනවා. ජනතාව බලාගෙන හිටියේ මේවා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා සාධාරණ සමාජයක් ගොඩ නැගේවි කියල. තාමත් ඒ බලාපොරොත්තුව ඉටු වෙලා නැහැ කියල පිළිගන්න ඕන අපි."

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාව 'යහපාලනයේ අවශ්‍යතාවයක්' දැයි බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ මාදුළුවාවේ සෝභිත හිමියන් සඳහන් කළේ එම සාකච්ඡාව සුහද හමුවක් විනා එහිදී කිසිදු තීරණයක් ගෙන නොමැති බැවින් එහි වරදක් නොදකින බවයි.