හොරුන් රකින පාර්ලිමේන්තුවක් -ජවිපෙ

Image copyright Presidents Media
Image caption යෝජිත මැතිවරණ ක්‍රමය පිළිබඳව පක්‍ෂ නායක රැස්වීමේ දී

අද ශ්‍රී ලංකාවේ පවතින්නේ වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් දීමට සුදානම් වෙද්දී එය වළක්වන පාර්ලිමේන්තුවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම නිසා ජනතාවගේ උවමනාව සහ පාර්ලිමේන්තුව අතර ගැටීමක් ඇති වී තිබෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නව මැතිවරණ ක්‍රමය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා කැඳවූ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

‘ජනවාරි 8 වැනිදා ලැබුණු ජනවරමට අනුරූපී පාර්ලිමේන්තුවක් නෙමෙයි අද තියෙන්නේ. වංචා දූෂකයන්ට දඬුවම් දෙන්න හදන කොට එය වළක්වන පාර්ලිමේන්තුවක්. හොරුන් අධිකරණයට ගෙන යනකොට ඔවුන් නීතිය හමුවට ගෙන යන නිලධාරීන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවක්. ඒ වගේම රාජපක්‍ෂ කල්ලිය උත්සාහ කරනවා රට අරාජික කරන්න. ඒ සඳහා හොඳ තෝතැන්නක් වී තියෙන්නේ මේ පාර්ලිමේන්තුව. ඒ නිසා මෙය විසුරුවා හැරිය යුතුයි.’ ඔහු පැවසීය.

යෝජිත මැතිවරණ ක්‍රමය පිළිබඳව සියලු පක්ෂවල අදහස් සහ යෝජනා ලබන බදාදා මධ්‍යාහ්නයට පෙර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට පක්‍ෂ නායක රැස්වීමේ දී එකඟතාවකට පැමිණි බවද මන්ත්‍රීවරයා බීබීසීයට කියා සිටියේය.

නව මැතිවරණ ක්‍රමය තුළ ඇති ගැටළු කිහිපයක් තමා මෙම රැස්වීම හමුවේ තැබූ බවත් ඒවා ගැටළු වශයෙන් එහි සිටි විශේෂඥ කමිටුව පිළිගත් බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

එම ගැටළු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව නව මැතිවරණ ක්‍රමය සම්මත කර ගනු ලැබුවත් එය ක්‍රියාත්මක කිරීමට පෙර ජනතාවට යම් කාලයක් ලබා දිය යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර