ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද සමරුව; උතුරේ දමිළ ජන හඬ

දිනසේන රතුගමගේ

වව්නියාවේ සිට.

යුද්ධය නිම වීමෙන් අනතුරුව උතුරු මැද පළාතේ සිංහල සහ දෙමළ ප්‍රජාව අතර සංහිඳියාව මත පදනම් වූ නව සම්බන්ධතාවක් ගොඩ නැගෙමින් පවතින බව බීබීසී සංදේශය එම පළාතේ මහජනතාව හමු වී සිදු කළ අදහස් විමසීමක් තුලින් පෙනී යයි.

බීබීසී සංදේශය වෙනුවෙන් සිදු කෙරුණ එම මහජන අදහස් විමසුමට සහභාගී වූවන්ගෙන් වැඩි දෙනා පවසන්නේ කලින් පැවති අන්‍යෝන්‍ය සැකය තුනී වෙමින් ප්‍රජා කණ්ඩායම් අතර සාමය සහ සුහදතාවය වර්ධනය වෙමින් පවතින බවයි.

දැන් සිංහල ජනතාව හින්දු කෝවිල් වලටත් දමිළ හින්දු ජනතාව බෞද්ධ පන්සල් වලටත් කිසිදු බාධාවකින් තොරව යන එන බවයි සංදේශය සමඟ අදහස් දැක්වූ කාන්තාවන් සහ පුරුෂයන් සඳහන් කළේ.

Image caption අගමැති රනිල් වික්‍රමසිංහ කිලිනොච්චි සංචාරයක.

පසුගිය වෙසක් දිනවල වෙසක් විසිතුරු නැරඹීමට පන්සල් ගිය අතර මධ්‍යම රාත්‍රියේ පවා කිසිදු කරදරයකින් තොරව ආපසු නිවෙස් කරා පැමිණි බව එක් දමිළ කාන්තාවක් ප්‍රකාශ කළාය.

ආගමික සහජීවනය

තවත් දමිළ වැසියෙක් කියා සිටියේ රජය සිංහල හෝ දමිළ භේදයකින් තොරව පුරවැසියන් හැටියට පොදුවේ සියලු දෙනාට සලකන්නේ නම් අනාගතයේ කිසිදු ප්‍රශ්නයක් මතු නොවන බවයි.

බීබීසියට අදහස් දැක්වූ බොහෝ දමිළ ජාතිකයන් කියා සිටියේ, තමන් රටෙන් කොටසක් නොඉල්ලන අතර එකම රටක් තුල ජීවත් වීම තම උවමනාව බවයි.

යුද්ධය නිම වී වසර හයක් පිරෙන මොහොතේ දමිළ ජනමතය ඇතුළත් බීබීසී විශේෂාංගයට ඔබට මෙම පිටුව තුළ සවන් දිය හැකිය.

(ඉහත පින්තූරයේ දැක්වෙන්නේ යුද්ධය නිමවීමෙන් පසු සිංහල තරුණයකු කොටි සංවිධානයේ කලින් සෙබලියක්ව සිටි තරුණියක් කිලිනොච්චියේ දී විවාපත් අවස්ථාවකි)