ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගෝඨාභය තහනම් නියෝගය 'ව්‍යවස්ථා විරෝධීයි'

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

තමා අත්අඩංගුවට ගනු ලැබීම අත්හිටවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටිමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කර තිබුන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය, ලබන ඔක්තොබර් මාසය දක්වා බල පැවැත්වෙන පරිදි පසුගිය බදාදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අදාල නියෝගය පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුනේද ජනමාධ්‍ය ඔස්සේ බවයි, කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ.

පෙත්සම සලකා බැලීමට නියමිතව සිටි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ එක් විනිශ්චයකරුවකු පුද්ගලික හේතූන් මත එයින් ඉවත්වීමෙන් අනතුරුව අනෙක් විනිශ්චකරුවන් දෙදෙනාට එය විභාග කරන මෙන් අගවිනිසුරු කේ ශ්‍රීපවන් උපදෙස් දී තිබුණි.

'දේශපාලන හේතු'

අධිකරණ විභාගය සම්බන්ධයෙන් තමාට හෝ ඇමති මණ්ඩලයට දැනුම් දීමක් පවා සිදු කොට නැති අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි පරීක්ෂණය දේශපාලන හේතු මත සිදු කෙරෙන්නක් හැටියට අර්ථ ගැන්වීමේ උත්සාහයක් පවතින බවද අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

"මොකද මට තාම උසාවියට එන්න කියල නෝටිස් එකක් ලැබිල නෑ. මම කැබිනට් ඇමතිවරුන්ගෙන් ඇහුව එක්කෙනෙක්ටවත් ලැබිල නෑ," ඔහු පැවසීය.

නීතිපතිවරයා පවා එම නියෝගය පිළිබඳව වැඩි විස්තර නොදන්නා බව තමා කළ විමසීමකදී කියා සිටි බවත් අගමැතිවරයා පැවසීය.

මූලික අයිතිවාසිකම් නඩුවක් ගොණු කිරීමේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අයිතිය තමා ප්‍රශ්න නොකරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, තමන්ට ගැටලුවේ වී තිබෙන්නේ චෝදනාවට පිළිතුරු දීමට තමන්ට අවස්තාවක් ලබා නොදී අධිකරණය තීන්දුවකට එළැඹීම බව අවධාරණය කළේය.

"මොකද මට ඒවාට ලේසියෙන්ම පිළිතුරු දෙන්න පුළුවන්. කරුණු පෙන්වා දෙන්න පුළුවන්."

ලබන ඔක්තෝබර් මාසය වන විට අලුත් පාර්ලිමේන්තුවක අලුත් ඇමති මණ්ඩලයක් පත් වී සිටීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.