ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද සමරුව; ‘සංහිදියාව’ දකුණේ ඇසින්

ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න.

(සංදේශය-වයඹ වාර්තාකරු)

පසුගිය වසර හයක කාලය තුල රට තුල සංහිඳියාවක් ගොඩ නැගීමේ නිසි වැඩ පිළිවෙලක් නො තිබූ බව නීතිඥ නිහාල් සුමනධීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සියලු පුරවැසියන්ගේ උප්පැන්න සහතිකවල ජාතිය ශ්‍රී ලාංකික හැටියට ඇතුළත් කරන තෙක් සංහිඳියාවක් ගොඩ නැගිය නොහැකි බවයි.

ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධය නිම වීමෙන් අනතුරුව පසුගිය වසර හයක කාලය තුළ පෙරට යමින් ඇති ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ පිළිබඳව දකුණේ ජන මතය විමසා බැලීමේ සංචාරයකදීයි නීතිඥ නිහාල් සුමනධීර එම අදහස මතු කළේ.

රට තුළ ජාතීන් අතර සංහිඳියාවක් ගොඩනැගීමට කාලය අවශ්‍ය බවත් නිතිඥ නිහාල් සුමනධිර අප සමඟ කියා සිටියේය.

මෙම කාරණය සම්බන්ධයෙන් ඇති මහජන මතය විපරම් කරමින් අප සිදු කළ චාරිකාවේදී පෙනී ගිය කරුණක් වුණේ වසර තිහක යුද අත්දැකීම් දකුණේ බහුතර ජනතාවගේ මතකයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බවයි.

බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට හැකි වාතාවරණයක් දැන් උදා වී ඇති බව අපට හමු වූ බහුතරයේ මතය විය.

නව බලාපොරොත්තු

මේ අතර බීබීසියට අදහස් දැක්වූ සමාජ ක්‍රියාධරයකු වන හර්මන් කුමාර කියා සිටියේ, ‘ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා කලින් බලයේ සිටි ආණ්ඩුව නිසි පියවර ගත් නමුත් වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළ කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකි’ බවයි.

Image copyright BBC World Service
Image caption යුද්ධයෙන් පසු සිය පවුලට යළිඑකතු වූ හිටපු LTTE සාමාජිකයෙක්.

බෞද්ධ භික්ෂූන් වහන්සේ කීප නමක් අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ ‘යුද්ධය නිම වීමෙන් පසු ඇතැම් භික්ෂූන් අන්තවාදී ලෙස ක්‍රියා කළ අතර එය ජාතීන් අතර සංහිඳියාවට බාධාවක්' වූ බවයි.

උතුරේ විහාරස්ථාන ආරම්භ කොට දමිළ දරුවන් පැවිදි කොට බෞද්ධ සම්ප්‍රදාය අනුව කටයුතු කළේ නම් එමගින් ජාතීන් දෙක අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සමගිය වැදීමට හේතු වීමට ඉඩ තිබුණ බවයි නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරී හල්පන්විල පාලිත නා හිමියන් ප්‍රකාශ කරන්නේ.

එම මහජන අදහස් වලට ඔබට මෙම පිටුව මගින් සවන් දිය හැකිය.

(මෙහි ඉහත පළ වෙන පින්තූරයේ දැක්වෙන්නේ, ‘ජාතීන් අතර ගැටුම පිටු දකිමින් සංහිඳියාව ගොඩ නැගීම’ තේමා කර ගත් ප්‍රදර්ශනයක් සඳහා ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් කරන ලද නිර්මාණයකි.)