සංහිඳියාව ඇති කිරීමට 'හමුදාවට කළ හැකි මෙහෙයන් බොහොමයි'

Image copyright mod

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කරනුවස් හමුදාවට විශාල මෙහෙයක් කළ හැකි බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පවසයි.

‘ජාතික සංහිඳියාව පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කර ඇති මෙහෙවර සහ කළ හැකි මෙහෙවර තව බොහොමයක් තිබෙනවා. ඒ වගේම එම මෙහෙවර කිරීමට අපි සෑම වෙලාවකම අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරන බව කියන්න කැමතියි ’ හමුදාපතිවරයා කියා සිටියේය.

හමුදාපතිවරයා ඒ බව පවසා සිටියේ යුද්ධය නිමා වී වසර හයක් ගත වන හෙට දිනයේ මාතර දී පැවැත් වීමට නියමිත 'ජාතික රණවිරු උපහාර සැමරුම' පිළිබඳ අදහස් දැක්වීම සඳහා කොළඹ හමුදා මූලස්ථානයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කැප වී සිටින බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳහන් කළේය.

දෙවන ලෝක යුද්ධයේ සිට මේ දක්වා සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා යුද හමුදාව සාමය වෙනුවෙන් ක්‍රියා කර ඇති බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ තවත් ජන කොටසක් යුද්ධයෙන් මියයාම යුද ජයග්‍රහණයක් ලෙස සැමරීමට සුදානම් නොවන බවයි.

'බෙදුම්වාදයෙන්' රට ගලවා ගැනීම සඳහා දිවි පිදූ එමෙන්ම ආබාධිත තත්වයට පත් ආරක්ෂක අංශවල සාමාජිකයන් එදින සමරන බවයි ආණ්ඩුව පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර