පාසල් දැරිය දූෂණය - යාපනයේ විරෝධතා

යාපනය පුංගුඩුතීවු පළාතේදී 17 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණය කොට මරාදැමූ සැකකරුවන්ට එරෙහිව පොලීසිය ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් යාපනය නියෝජ්‍ය පොලිස්පති වරයා වට කරගත් පිරිසක් ඔහුට අද අඟහරුවාදා බාධා කළහ.

නමුත් පොලීසිය කියා සිටින්නේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවයි.

ශිවයෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයකට ලක්කොට මරාදැමූ බවට සැක කෙරෙන සැකකරුවන් අට දෙනෙක් අද මැයි19 දා යාපනයේ කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

එම අවස්ථාවේදී අධිකරණ භූමියේ සිටි ජනතාව සැකකරුවන්ට පහරදීමට තැත් කිරීම නිසා අධිකරණ භූමිය තුළ දැඩි නොසන්සුන් තත්වයක් හට ගෙන තිබුණි.

ප්‍රදේශවාසීන් මෙම සැකකරුවන් අට දෙනාගෙන් තුන් දෙනෙකුගේ නිවාස වලට අලාභ හානි සිදු කළ බවට වාර්තාවී ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ එක් නිවසකට ගිණි තබා තිබුණු බවයි.

දූෂණයට ලක්වූ පාසල් ශිෂ්‍යාවගේ උපැස් යුවලක් සහ කරාබු ජෝඩුවක් එක් සැකකරුවකුගේ නිවසේ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබුණු නමුත් නිවස පරීක්ෂා කිරීමට යන විට එම නිවස ගිණිගෙන තිබුණු බවද ඔහු පැවසුවේය.

මෙවැනි සිද්ධීන් නිසා සාක්කි සියල්ල විනාශ වී යන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඉන් සිදුවන්නේ සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක් උදාවීම බවද කියා සිටියේය.

පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් නවදෙනෙකුම අත් අඩංගුවට ගෙන ඇති බැවින් ජනතාව නීතිය අතට ගත යුතු නැතැයිද ඔහු පැවසුවේය.

දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් ශිෂ්‍යාව පදිංචි පළාතට පොලිස් මුරපොලක් ලබාදීම පිණිසත් ජනතාව සමග සාකච්ඡා කිරීමට අද අඟහරුවාදා දහවල් පුංගුඩුතීවු පළාතට ගිය යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා වට කරගත් ජනතාව ඔහුට යාමට නොදී බලපෑම් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පිළිගත් අතර ඔහු කියා සිටියේ එවැනි සිද්ධියක් ඇතිවූයේ ජනතාව පොලිස් පරීක්ෂණ පිළිබදව දැණුවත්වීමක් නොමැති නිසා යැයිද පෙන්වා දුන්නේය.

ජනතාව උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ යාපනය පළාතෙන් කොළඹට පළා ගිය සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස යැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ජනතාව උද්ඝෝෂණය කරණ විටත් එම සැකකරු කොළඹදී පොලිස් අත් අඩංගුවට පත්වී සිටි බවද පැවසුවේය.

පොලිස් අත් අඩංගුවට පත්වන සියලුම සැකකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට ඩී.එන්.ඒ.තාක්ෂණය ඔස්සේ මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පොලීසිය විසින් සිදු කරණ පරීක්ෂණ පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව කියමින් යාපනයේ සියලුම පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාසල් වලින් එළියට පැමිණ අද 19 දා උදෑසන පාසල් ඉදිරියේදී උද්ඝෝෂණයක නිරත වූහ.

මේ සම්බන්ධයෙන් බී.බී.සී.යට අදහස් දැක්වූ යාපනයේ ගුරුවරයෙකු කියා සිටියේ යාපනයේ සියලු වෙළද සල් මුලු දිනයේම වසා දමා මෙම සිද්ධියට විරෝධය පල කළ බවයි.