යාපනය අධිකරණය අසල දී 127 ක් අත්අඩංගුවට

Image caption යාපනය නගරය තුළ මෙවැනි භීෂණකාරී තත්ත්වයක් ඇතිවූයේ වසර දහයකට පමණ පසුව බවයි යාපනයේ වැසියන් පවසන්නේ

යාපනය අධිකරණය ඉදිරිපිට පොදු දේපලවලට හානි සිදුකරමින් පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකරමින් කලහකාරී ලෙස හැසිරුණු 127 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ පුංගුඩුතීවු ප්‍රදේශයේදී පාසල් දැරියක් දූෂණය කොට මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරුවා අද බදාදා යාපනය අධිකරණයට රැගෙන ඒම ප්‍රමාද වූ අවස්ථාවේදී යාපනයේ වැසියන් දහසක් පමණ යාපනය අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් අධිකරණ ශාලාවට ගල් මුල් ප්‍රහාර එල්ල එල්ල කිරීම නිසා ගොඩනැගිලි කීපයකට සහ වාහන කීපයකට අලාභහානි සිදුවී ඇති අතර මෙම ප්‍රහාරයන්ට මැදි වූ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබූ බව යාපනය පොලිසිය පැවසීය.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තුන් දෙනා මේ වන විට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

අධිකරණයට ගල් මුල්

අධිකරණයට ප්‍රහාර එල්ල කරමින් අධිකරණ කටයුතුවලට බාධා එල්ල කරණ පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස යාපනය දිසාවිනිසුරුවරයා කළ නියෝගයකට අනුව යාපනය පොලිසිය මගින් සැක පිට පුද්ගලයින් 13 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ජනතාව නොසන්සුන්ව කුපිත ලෙස හැසිරෙමින් අධිකරණය වෙත ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ දී පොලිසියට එම තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිවීම නිසා ජනතාව පලවා හැරීමට පොලිසියට කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

පොරොන්දුව කඩලා

පාසල් දැරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඔහුට කොළඹට පලායාමට සහය දුන් බව කියන නීතිඥවරයෙකු බදාදා දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරණ බවට යාපනය දිසාව බාර නියෝජ්‍ය පොළිස්පතිවරයා 19 වෙනිදා දහවල් පොරොන්දුවී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව යාපනයේ වැසියන් පිරිසක් විසින් වට කරගෙන ඔහුට බාධා එල්ල කළ අවස්ථාවේදීය.

එම පොරොන්දුව දහවල් වනතුරුත් ඉටු නොවීම හේතුවෙන් මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන තිබේ.

ගමනාගමනයට බාධා

උද්ඝෝෂණ කරුවෝ නගරයේ තැනින් තැන ටයර් පුලුස්සමින් කෑකෝ ගසමින් කුපිත ලෙස හැසිරීම නිසා ගමනාගමන කටයුතු වලට පවා බාධා එල්ල වී තිබේ.

කෙසේ වෙතත් යාපනයේ වෙළෙද සැල් සියල්ලක්ම අද උදැසන සිට වසා දමා ඇති අතර යාපනය නගරය තුල හර්තාලයක් පරිද්දෙන් කටයුතු සිදුවන බව යාපනයේ වැසියෝ කියා සිටියහ.

යාපනය නගරය තුළ මෙවැනි භීෂණකාරී තත්ත්වයක් ඇතිවූයේ වසර දහයකට පමණ පසුව බව කී යාපනයේ වැසියන් පැවසුවේ නගරයේ ආරක්ෂාවට පොලිස් සහ හමුදා බල ඇණි යොදවා සිටින බවයි.

Image caption මඩකලපුවේ කාන්තා විද්‍යාලයක සිසුවියන් පිරිසක් විරෝධය පළකරමින්

මඩකලපුව

මේ අතර මඩකලපුව ප්‍රදේශයේ පාසැල් සිසුන් විසින් ද යාපනයේ ශිෂ්‍යාව මරා දැමීමට එරෙහිව විරෝධතා පවත්වා ඇති බව වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර