ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආසියානු ඔලිම්පික් ක්‍රීඩා උළෙල හම්බන්තොටට අහිමි වුනේ ඇයි? - හේමසිරි ප්‍රනාන්දු

2017 වසරේ ආසියානු ඔලිම්පික් ශූරතා තරඟාවලියේ සත්කාරක රට හැටියට ක්‍රියා කිරීම සඳහා ශ්‍රී ලංකාව ලද අවස්ථාව ආසියානු ඔලිම්පික් කමිටුව විසින් ඉවත් කර ගනු ලැබ ඇති අතර එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ වැරැද්දෙන් සිදු වූ දෙයක් බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු පවසයි.

ක්‍රීඩා ඉසව් ගණනාවකින් සමන්විත 2017 ආසියානු ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ හම්බන්තොට නගරයේයි.

ඒ සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරනු ලැබ ඇති නව නිවේදනයක දැක්වෙන්නේ, ‘ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ අධිකාරයට එල්ල වී ඇති ප්‍රශ්න හේතුවෙන්’ හම්බන්තොට ලද සත්කාරක වරම ඉවත් කර ගන්නා බවයි.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ක්‍රීඩාවට සිදු කෙරෙන දේශපාලන මැදිහත් වීමයි.

මේ අතර බීබීසියට අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ විශාල මුදල් සම්භාරයක් වැය කරමින් ලබා ගැනීමට සිදු වන එවැනි ක්‍රීඩා උළෙලක් ශ්‍රී ලංකාවට කිසිදු වියදමකින් තොරව ලැබුන අතර ආණ්ඩුව ඒ වෙනුවෙන් කිසිදු සහයෝගයක් නුදුන් බවයි.

ජකර්තා නගරයට

ඉහත කී අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් 2017 ආසියානු ඔලිම්පික් ශූරතා තරඟාවලිය ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ සංවිධානය කිරීමට තීන්දු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ අවසාන තීන්දුව ලබන සැප්තැම්බර් මාසයේ කැඳවන මහා මණ්ඩල රැස්වීමේ දී ගනු ලබන බවත් ආසියානු ඔලිම්පික් කමිටු නිවේදනයේ දැක්වෙයි.

කුවේටයේ බලධාරියකු වන ෂේක් අහමඩ් අල්-ෆහාඩ් අල්-සබා මෙහෙයවන ආසියානු ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාව තුළ තරඟ සූදානම අතින් ප්‍රගතියක් නොවීම සම්බන්ධයෙන් අසතුටට පත්ව ඇති බවක් වාර්තා වීමත් සමඟ හම්බන්තොටින් එම තරඟාවලිය ඉවත් කර ගනු ලබනු ඇතැයි සැක පළ වෙමිනුයි තිබුණේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සමඟ බීබීසිය පැවැත්වූ සාකච්ඡාවට මෙම පිටුවෙන් සවන් දෙන්න.