ඉඩම් ලබා දෙන්න ප්‍රමාද ඇයි? - පානම වැසියෝ

Image caption පසුගිය දා පානම දී පැවති විරෝධය

පසුගිය රජය බලහත්කාරයෙන් අත්පත් කර ගත් නැගෙනහිර පළාතේ පානම ගම්මානයේ වැසියන් පරම්පරාවෙන් වගා කළ හේන් ඉඩම් යළි ලබා දෙන බවට වත්මන් රජය දුන් පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඒම ඉඩම් හිමියෝ සිය කනස්සල්ල පළ කරති.

පානම ගමේ පවුල් සියයකට ආසන්න පිරිසකගේ හේන් වගා ඉඩම් මෙසේ පවරා ගෙන තිබෙන අතර එම ඉඩම් පානම ගමට යාබදව රාගමවෙල පිහිටා තිබේ.

2010 වසරේ දී නාවික හමුදා කඳවුරක් ඉදි කිරීම සඳහා මෙම ඉඩම් බලහත්කාරයෙන් පවරා ගත් බව හේන් ගොවියෝ පවසති.

සංචාරක ආකර්ෂණයක් ඇති ආරුගම්බේ මුහුදු වෙරළේ සිට රාගමවෙල කිලෝමීටර් දාසයක් පමණ දුරින් පිහිටා තිබෙන අතර ඒ ප්‍රදේශයේ මේ වන විට නාවික හමුදාවට අයත් යයි පැවසෙන ගොඩනැගිලි කීපයක් ඉදි කර තිබේ.

"පොලිස් නිල ඇඳුම් සහ හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගත් අවි ආයුධ අතැතිව රාත්‍රි කාලයේ පවා පැමිණ පිරිස් එදා අපි ව හේන් වලින් පන්නා දැමුවා. වාඩිවලට ගිනි තිබ්බා." අතීත සිදුවීම් සිහි කළ ඉඩම් අහිමි ගොවියෝ පැවසූහ.

Image caption මීට වසර පහකට පෙර එනම් 2010 වසරේ ජනවාරි මාසයේ හේන් පැවති ආකාරය

"හේන් වල මුං, කව්පි, කුරක්කන්, රට කජු, ඉරිඟු, එළවලු, ආදිය වගා කරලා පවුල් නඩත්තු කලේ. මේවාට අපි බලපත්‍රත් ලබා ගෙන තිබුණා. කොයි වෙලාවකවත් මහ කැලෑව කැපුවේ නෑ. කොටි කරදර කාලෙවත් අපේ හේන් ගොවිතැන් නැවතුනේ නෑ. නමුත් 2010 තමයි අපි පාරට වැටුණේ."ඉඩම් අහිමි වූවෝ සිය අතිතය සිහිපත් කළේ දැඩි වේදනාවකිනි.

පසුගිය රජයෙන් තම ඉඩම් ගැටලුවට විසඳුමක් නොලද බව ද ගොවියෝ පවසති.

පවුල් සියයකට ආසන්න පිරිසකගේ ජීවන මාර්ගය වන්නේ හේන් වගාව බවයි ගම්වැසියන් පවසන්නේ.

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු පෙබරවාරි මාසයේ කැබිනට් තීන්දුවක් ගනිමින් අහිමි වූ ඉඩම් යළි ලබා දීමට ගත් තීන්දුව තවමත් ක්‍රියාත්මක කර නැතැයි පවසන ඉඩම් හිමියෝ ඒ තීන්දුව වහා ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් පසුගියදා පානම දී විරෝධතාවක් ද පැවැත්වූහ.