ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සෞඛ්‍ය සම්පන්න හදවතකට 'විනාඩි තුනක ව්‍යායාම'

යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා දෛනිකව අවශ්‍ය වන්නේ විනාඩි තුනක් වැනි කෙටි කාලයක් පමණක් බව ශ්‍රී ලාංකික භෞත චිකිත්සකවරයෙක් නිර්දේශ කරයි.

තත්පර තිහ බැගින් දිනකට විනාඩි තුනක් ව්‍යායාම හයක් කිරීම ප්‍රමාණවත් බව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා ඖෂධ පිළිබඳ ප්‍රධාන භෞත චිකිත්සක කුසල් කුමාර් ගුණවර්ධන කියා සිටියේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ හා සාකච්ඡාවකට එක් වෙමින්.

"ගොඩක් අය කියන්නේ මට ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ, නැත්තම් මම හරි කාර්ය බහුලයි. අලුතෙන් මම හැදුවේ දවසට මිනිත්තු තුනක් ව්‍යායාම කරන්න. විනාඩි තුනක් ව්‍යායාම කරන්න ඕනි දැඩි මට්ටමින්," ඔහු පැවසීය.

දිනකට විනාඩි තුනක ව්‍යායාම කරන්නේ කෙලෙසද යන්න පිළිබඳව සිය නිර්දේශ සවිස්තරව දක්වමින් කුසල් කුමාර ගුණවර්ධන "3 Minute Workouts" නමින් මෑතකදී ග්‍රන්ථයක් එළි දැක්වීය.

තමා නිර්දේශ කරන ව්‍යායාම මාලාව අනුගමනය කිරීම තුළින් පෙනහළු සහ හදවතේ ක්‍රියාකාරිත්වය යහපත් කර ශරීර යෝග්‍යතාව වර්ධනය කරන බව පවසයි.

නොනවත්වා දින විසි එකක් දිනකට විනාඩි තුන බැගින් නිර්දේශිත ව්‍යායාම මාලාව අනුගමනය කිරීමෙන් එහි යහපත් ප්‍රතිඵල අත්විඳිය හැකි බවත් ඔහු පැවසුවේය.

ඒ අනුව ව්‍යායාම ශාලාවකට නොගොස් නිවසේදීම තමාට අවශ්‍ය දෛනික ව්‍යායාම ලබා ගත හැකි බවත් ඕස්ට්‍රේලියාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් ගණනාවකගේ සෞඛ්‍යාරක්ෂාව භාරව කටයුතු කරන ශ්‍රී ලාංකික විශේෂඥයා පැවසීය.

සිය ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්කිරීම පිණිස තවමත් ප්‍රකාශකයකු සොයමින් සිටින බවත් කුසල් කුමාර් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

(සම්පුර්ණ සාකච්ඡාවට සවන් දෙන්න.)