සෞඛ්‍ය සේවකයන් 40,000 කට විශේෂ දීමනාවක්

Image caption අතිරේක වියදම අවම කර ගැනීම් වස් නාස්තිය, දූෂණය අවම කරගැනීමේ අවශ්‍යතාවය වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යවරයා පවසයි

සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි විසි හතක 40,000 කට ආසන්න සේවකයන්ට රුපියල් දහසක දීමනාවක් ලබාදීමට තීරණය කළ බව ආණ්ඩුව පවසයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සහ සෞඛ්‍ය වෘත්තීය සමිති විසි දෙකක නියෝජිතයන් අතර සඳුදා කොළඹ පැවති සාකච්ඡාවකදීයි, එම තීරණයට එළඹී තිබෙන්නේ.

සෞඛ්‍ය සේවකයන්ට එම දීමනාව ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 40ක අතිරේක මුදලක් මාසිකව වැය කිරීමට ආණ්ඩුවට සිදු වන බව සාකච්ඡාවේදී පෙන්වා දුන් බව පැවසූ මුදල් අමාත්‍ය රවී කරුණානායක, එම අතිරේක වියදම අවම කර ගැනීම් වස් නාස්තිය, දූෂණය අවම කරගැනීමේ අවශ්‍යතාවය වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළ බවද පැවසීය.

ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් පැවැත්වූ සාකච්ඡාවේදී ආණ්ඩුව එක් ඉල්ලීමකට අනුමැතිය පළ කළ බව සඳහන් කළ වෘත්තීය සමිති නායකයෝ, වර්තමානයේ රටේ පවතින තත්වය සලකා බලා ආණ්ඩුව ලබා දුන් සහනය භාරගැනීමට තීරණය කළ බවද පැවසූහ.

අදාළ දීමනාව ලබන මස සිට සෞඛ්‍ය සේවකයන්ට ලබා දීමට නියමිතයි.

ඇතැම් වෘත්තීය සමිති සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනයක් සඳහා සූදානම් වී සිටියත් එය සාර්ථක වනු නැති බවයි, අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර