කහවත්ත කොටකෙතන ඝාතන විත්තිකරුවන් නිදහස්

Image copyright Thinkstock

කහවත්ත කොටකෙතන ප්‍රදේශයෙ මවක සහ දියණියක මරා දැමීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කරයි.

පසුගිය වසර කිහිපය තුල කොටකෙතන ප්‍රදේශයෙන් කාන්තාවන් අභිරහස් ලෙස ඝාතනය වීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තාවී තිබිණ.

2012 වසරේ ජුලි මාසයේදී ලියනාරච්ච්ගේ ප්‍රේමාවතී නමැති කාන්තාවක සහ ඇයගේ දියණිය වූ හේවාගමගේ පුෂ්පකුමාරි යන දෙදෙනා මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබීය.

දීර්ඝ විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල වී තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

DNA සාක්ෂි

විශේෂයෙන්ම අපරාධය සිදුවූ ස්ථානයේ තිබු ලේ සාම්පල විත්තිකරුවන්ගේ නොවන බවට DNA සාක්ෂි වලින් අනාවරණය කර ගැනීමට හැකි වීම විත්තිකරුවන්ගේ නිදොස් වීමට ප්‍රධාන ලෙස බලපෑ බවයි විත්තියේ නීතිවේදි දර්ශන කුරුප්පු කියා සිටියේ.

තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරිය කියා සිටියේ නඩුවේ ප්‍රධාන සාක්කිකරු ඉදිරිපත් කල සාක්කිය විශ්වසනීයත්වයෙන් තොර බවත් එහි පරස්පරතා රැසක් දක්නට ලැබෙන බවයි.

පොලිස් පරීක්ෂණවල ගැටළු රැසක් පවතින බවද තීන්දුවේ සඳහන් විය.

මෙම තත්වය මත නිමල් චමින්ද සිල්වා, සිසිර කුමාර සහ ලොකුගම හේවාගේ මිතිල යන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව අධිකරණය ප්‍රකාශ කළේය.