ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මට තියෙන්නේ රජයේ කුණු හෝදපු චෝදනාව - කෙහෙළිය

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රකාශකයා සහ ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස තමන් ඉටු කළේ පැවති රජය ආරක්ෂා කිරීමේ සිය වගකීම ඉටුකිරීම බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.

කිසිවිටෙකත් තමන් වැරදිකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී නොසිටි බවද හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

"එහෙම වෙලාවට මම කියලා තියෙනවනේ ඔබ තුමන්ලාට ඒ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා, ඒ සම්බන්ධව කතා කරන්න මම සුදානම් නැහැ කියලා? මොකද රටක කැබිනට් මණ්ඩලයක් කිව්වහම සාමූහික වගකීමක් තියෙනවා. ඒක ආරක්ෂා කිරීම මගේ වගකීමක්," ඔහු පැවසීය.

'කුපාඩිකම් හා බලුකම්'

"කුපාඩිකම් හා බලුකම්" කළ අමාත්‍යවරුන් මාධ්‍යවලින් බේරාගැනීමට තමන් කටයුතු කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා සඳහන් කළේය.

හිටපු ජනපතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව විමසූ විට රඹුක්වැල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ: "ප්‍රශ්නයක් අවොත් මාධ්‍යවේදීන් අපිව හිරකරනවනේ? ඒක ඔබතුමන්ලාගේ රාජකාරියනේ? ඔය කියන ජඩකම්, කුපාඩිකම් ආරක්ෂා කිරීමේදී අපි ගත්ත ක්‍රියාමාර්ගය ගත්තේ රාමුව තුළ ඉඳගෙන. කවදාවත් කිව්වේ නැහැ එයා හරි කියලා."

වර්තමාන රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මෙන් තමන් කිසිදිනක "අච්චාරුවකට" සම්බන්ධ නොවූ බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා, රජයේ ප්‍රකාශකයා ලෙසින් තමා වැදගත් ආකාරයට කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින් සැමවිටම කටයුතු කළ ආකාරය ගැන මාධ්‍යවේදීන් සාක්ෂි දරනු ඇති බවද පැවසීය.

"බිලියන 30ක් වටරවුම් පාරෙන් හොරකම් කළා කියලා විධායක සභාව තීන්දු කළ බවක් කියනවා. විධායක සභාවේ අනුර දිසානායක කියනවා පට්ටපල් බොරු කියල. ඔබතුමාල ඒක බොරුවක් නේද කියලා ඇහුවම කියනවා නැහැ මට අගමැතිතුමා කිව්වේ කියලා. අච්චාරු නේ? එහෙම අච්චාරුවකට මම සම්බන්ධ වෙලා නැහැ."

හිටපු ජනාධිපතිවරයා පවසන "කුපාඩිකම් සහ බලුකම්" කළ ඇමතිවරුන් අතර කෙහෙළිය රඹුක්වැල්ලත් සිටින්නේ දැයි විමසූ විට ඔහු සඳහන් කළේ, තමන් දන්නා තරමින් තමාට එල්ල වන එකම චෝදනාව "රජයේ කුණු හෝදපු චෝදනාව" බවයි.