ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සෝමලතා සුභසිංහ; ජීවිත වේදිකාවෙන් බැස යයි

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් බවට පත් නාට්‍යවේදිනියක හා රංගන ශිල්පිනියක වූ සෝමලතා සුබසිංහ දිවි රඟ මඩලින් සමු ගත්තාය.

මිය යන විට ඇය 79 වැනි වියේ පසු වූවාය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය නිර්මාණ ඔස්සේ කරළියට පිවිසි සෝමලතා සුබසිංහ මූදු පුත්තු, ලිය තඹරා, එලොව ගිහින් මෙලොව ආවා, හිරු නැති ලොව, අන්ගාරා ගඟ ගලා බසී වැනි නිර්මාණ තුලින් ප්‍රකට කළ රංගන කුශලතාව වේදිකාව තුල තවමත් දෝංකාර දෙන බවයි නාට්‍යවේදී රන්ජිත් ධර්මකීර්ති පවසන්නේ.

ළමයින් සඳහා නාට්‍ය රැසක් නිර්මාණය කළ සෝමලතා සුබසිංහ වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණයෙන් දෙස් විදෙස් පතළ නාට්‍ය ගුරුවරියක් ද වන්නීය.

ළමයින් සඳහා ඇය නිර්මාණය කළ ‘හිම කුමාරි’, ‘වලස් පවුල’, ‘පුංචි අපට දැන් තේරෙයි’ වැනි නාට්‍ය ශ්‍රී ලාංකේය ළමා නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහන් වෙති.

ප්‍රවීණ සිවිල් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන ලයනල් ප්‍රනාන්දු ගේ දයාබර බිරිඳ වන සෝමලතා සුභසිංහ ජනප්‍රිය සිනමා හා වේදිකා නිළියක වන කෞශල්‍යා ප්‍රනාන්දු ගේ ආදරණීය මෑණියන් වන්නීය.

සාහිත්‍යධර ප්‍රවීණ නාට්‍යවේදී රන්ජිත් ධර්මකීර්ති බීබීසී සංදේශය ඔස්සේ සෝමලතා වෙනුවෙන් තබන සටහනයි මේ.