ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමලිංගිකත්වය: රටේ මිනිස්සු 'ගොනාට අන්දන්න හදලා'

ශ්‍රී ලංකාව තුළ සමලිංගික අයිතිවාසිකම් පිළිගෙන ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියා පටිපාටිය නොදැන හෝ සිතා මතාම එවැනි අසත්‍ය ප්‍රකාශයක් සිදු කොට ඇති බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින්.

‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රෙගුලාසි, ඒ වගේම ඔය ප්‍රස්තුතයට ලක් වෙලා තියන අන්තර්ගතය සහ ස්වාභාවය පිළිබඳ නොදැන නොතේරී හෝ පහුගිය අවුරුදු දහයට කළා වගේ මේ රටේ මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් කියලා හිතලා වීරවංශ මහත්තයාගේ කණ්ඩායම කියන ටොන් පචයක්’ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

'රුසියාවේ විරෝධය'

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවාහක සමලිංගික සේවකයන්ට සාමාන්‍ය විවාහක සේවකයන්ට ලැබෙන වරප්‍රසාද ලබා දීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තීරණය කර තිබිණි.

මහලේකම්වරයා ගත් එම තීරණයට රුසියාව දැක්වූ විරෝධය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධනයේ අයවැය කාරක සභාව තුළ ඒ සම්බන්ධයෙන් විවාදයක් ඇති විය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සිය සේවකයන්ට අදාළ තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇති බවයි ශ්‍රී ලංකාව ඇතුළු බහුතර රටවල්වල මතය වූයේ.

රුසියාව විසින් කරනු ලැබූ එම යෝජනාවට ශ්‍රී ලංකාව විරෝධය පළ කිරීම සමලිංගික අයිතිවාසිකම් සඳහා පක්ෂව පෙනී සිටීමක් බව පවසමිනුයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මෝහමඩ් මුසම්මිල් ආණ්ඩුවට චෝදනා කළේ.