උතුරේ මත් ද්‍රව්‍ය පැතිරීම කුමන්ත්‍රණයක්ද?

Image copyright Saminadan Wimal
Image caption යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල්

උතුරේ හිස ඔසවා ඇති මත් ද්‍රව්‍ය ජාවාරම ගැන ජාතිවාදී දේශපාලනය පසෙක ලා පුළුල් මනසකින් බැලිය යුතු බවයි උතුරේ සමාජ විශ්ලේෂකයෙකු පවසන්නේ.

යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් මේ බව බීබීසීයට කියා සිටියේ සැලසුම් සහගතව උතුරේ තරුණයන්ට මත් ද්‍රව්‍ය හඳුන්වා දී ඇතැයි උතුරු මහ ඇමතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

යම්කිසි සතුරෙකු මවා ජනතාව එම සතුරාට එරෙහිව පෙළ ගැස්වීමේ ජාතිවාදී දේශපාලනය දකුණේ මෙන්ම උතුරේ ද සිදු වන බවයි ඔහු කියා සිටින්නේ.

‘මේක උතුර තුළ ස්ථාපිත කර ඇති මතවාදයේම ප්‍රකාශනයක්. ප්‍රශ්නයට හේතුව තියෙන්නේ සමාජය තුළ නොව සමාජයෙන් පිටතයි කියලනෙ දක්වන්න හදන්නේ. මේ හැම දෙයක්ම අපිව විනාශ කරන්න සිදු වන කුමන්ත්‍රණ කියල පෙන්වන්න හදනවා. වැදගත්ම දේ තමයි මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නෙත් සමාජයේ බලය දරන අධිකාරියක් තියෙන අය වීම. ඇයි එහෙනම් ඒ කුමන්ත්‍රණ කරුවන් හෙළි කරලා ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග නොගන්නේ.’ කථිකාචාර්ය සාමිනාදන් විමල් ප්‍රශ්න කරයි.

දේශපාලන බංකොලොත්භාවය

Image caption සැලසුම් සහගතව උතුරේ තරුණයන්ට මත් ද්‍රව්‍ය හඳුන්වා දී තිබෙනවා. -මහ ඇමති සී වී විග්නේස්වරන්.

මුහුදෙන් සහ ගුවනින් පමණක් භාණ්ඩ ප්‍රවාහනය සිදු වූ යාපනයට යුද්ධයෙන් පසු ගොඩ බිමින් ද භාණ්ඩ ප්‍රවාහනය වන බැවින් ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්වල මෙන්ම උතුරේද මත් ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සිදු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම යුද්ධයෙන් පසු තරුණයන්ට ලැබුණු නිදහස සහ විදෙස් රටවල සිටින අයගෙන් වැඩිපුර මුදල් ලැබෙන්නට වීම මීට තවත් හේතුවක් විය හැකි බවද හෙතෙම පවසයි.

‘යුද කාලය තුළ මිනිස්සු මීට වඩා ප්‍රශ්නවලට මුහුණ දුන්න. තරුණ තරුණියෝ, පාසල් ශිෂ්‍යයෝ ඝාතනයට ලක් වුනා. මෙවැනි ප්‍රකාශ වලින් පෙනෙන්නේ යුද්ධයකට පසුව පැමිණි සමාජයක ප්‍රශ්ණ විසඳා ගැනීමට ඇති නොහැකියාව සහ දේශපාලන බංකොලොත්භාවය.’ යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පැවසීය.