ව්‍යවස්ථාදායක සභාව ගැන එකඟත්වයක් නෑ

Image copyright Getty
Image caption පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස විපක්ෂය කළ ඉල්ලීමට ආණ්ඩු පක්ෂය මෙන්ම කථානායකවරයාගේද සහාය හිමිවීම විශේෂත්වයක්

ව්‍යවස්ථාදායක සභාවට පත්කිරීමට නියමිත සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම පිණිස කැඳවූ විශේෂ පාර්ලිමේන්තු සැසිය අවසන් තීරණයකින් කල් තැබීමට කථානායකවරයාට සිදුවිය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස විපක්ෂය කළ ඉල්ලීමට ආණ්ඩු පක්ෂය මෙන්ම කථානායකවරයාගේද සහාය හිමිවීම විශේෂත්වයක්.

ව්‍යවස්ථා සභාවට පත්කිරීමට යෝජනා වී තිබෙන සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ඒටී ආරියරත්න සහ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ඒ ඩබ්ලිව් ඒ සලාම් පිළිබඳව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම පිණිස කථානායකවරයා විසින් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවනු ලැබ තිබුණි.

එහෙත් සැසිය ආරම්භයේදීම විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය පිළිබඳව මතු කළ ප්‍රශ්නයක් හේතුවෙන් සභාව උණුසුම් විය.

අර්ජුන මහේන්ද්‍රන්

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රහාරාත්මක කතාවක් කරමින් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම සාධාරණ නොවන බව කියා සිටියේය.

Image copyright cbsl.gov.lk
Image caption මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමඟ සභාවේ කටයුතු උණුසුම් මුහුණුවරක් ගත්තේය

අර්ජුන මහේන්ද්‍රන්ට 2005 වසරේ රටින් පිටව යාමට සිදුවූයේ රාජපක්ෂ රෙජීමයේ ක්‍රියා පිළිවෙත නිසා බව පැවසූ අගමැතිවරයා, ඔහු එලෙස රටින් පිට නොවූයේ නම් ලසන්ත වික්‍රමතුංග වැන්නන්ට අත් වූ ඉරණම ඔහුටද අත්වන්නට ඉඩ තිබුණු බව පැවසීය.

අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසු නැගී සිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, තමන් නැගූ ප්‍රශ්නයට අගමැතිවරයාගෙන් පිළිතුරක් නොලැබුණු බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට පිළිතුරැ දෙමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනාවක් ගෙන එන්නේ නම් එය සම්මත කරගැනීමට ආණ්ඩුව සුදානම් බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස තමන්ගෙන් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින්නේ නම් තමන්ද ඊට එකඟ බව එහිදී කථානායකවරයාද පැවසීය.

ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ විවාදය ආරම්භ කිරීමට කථානායකවරයා උත්සාහ කළත්, එහිදී නැගීසිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

ඉන් පැය දෙකකට පමණ පසුව නැවත පාර්ලිමේන්තුව කැඳ වූ අවස්ථාවේ ව්‍යවස්ථාදායක සභාවට යෝජිත නම් සඳහන් පුද්ගලයින්ගේ කැමැත්ත ලිඛිතව ලබාගන්නා තෙක් සභාව 9 වැනි දින දක්වා කල්තබන ලෙසයි.