අගමැතිට එරෙහි විශ්වාස භංගයට 'මන්ත්‍රීවරු 112 ක්'

Image copyright AFP

පාර්ලිමේන්තුවේ සියලු විරුද්ධ පක්ෂවල නායකයන්ගේ රැස්වීමකින් අනතුරුව සිකුරාදා දහවල් අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාර දුන් බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.

ඒ පිළිබඳව බ්‍රහස්පතින්දා රාත්‍රියේ මුලින්ම කථානායකවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් බවද බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ මන්ත්‍රීවරයා එය භාරදීමේ අවස්ථාවට තමන්ද සහභාගි වූ බවත් කියා සිටියේය.

යෝජනාවට විපක්ෂ මන්ත්‍රීවරුන් 120 ක වැඩි පිරිසකගේ සහාය පල වූ නමුත්, ඒ සියලු අත්සන් සහිතව භාරදුන්නේ නම් විවාද කිරීමේ අවශ්‍යතාවයක් පවා අනවශය බැවින් යෝජනාව භාරදුන්නේ මන්ත්රීවරුන් 112 ක ගේ අත්සන් සහිතව බවත් ඔහු පැවසීය.

'මම මහින්ද එක්ක'

විශ්වාස භංග යෝජනාවක් තමන් වෙත ලැබුණු බව කථානායක චමල් රාජපක්ෂ තහවුරු කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරෝධය පළ නොකළේ දැයි විමසූ අවස්ථාවේ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා ඒ පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කොට නැති බවයි.

Image caption "ඔහු වෙනත් පෙරමුණකින් තරඟ කළොත් මහින්ද මහත්තයත් එක්ක තමයි මම ඉන්නේ" - මනූෂ නානායක්කාර (දකුණේ)

"අද පක්ෂ නායකයන්ගේ රැස්වීමකුත් කැඳවල, විපක්‍ෂනායකතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්තුමා, සන්ධානයේ මහ ලේකම්තුමා ඒ වගේම සන්ධානයේ අනෙකුත් පක්ෂවල නායකයන් සියලු දෙනා එකතුවෙලා තමයි මේ තීරණය අරගත්තේ," ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි පුද්ගලයකු මහ බැංකුවේ අධිපති පදවියට පත්කිරීම හැරුණු විට දූෂණ චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු ආරක්ෂා කිරීම හේතුවෙන් අගමැතිවරයා පිළිබඳව විශ්වාසය බිඳ වැටී තිබෙන බවයි, ඔහු පවසන්නේ.

එමෙන්ම සුළුතර ආණ්ඩුවක අගමැති පදවිය දැරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහට ජනවරමක් හිමි වී තිබෙන්නේ දින සියයක කාලයක් සඳහා පමණක් බවත් ඔහු සඳහන් කළේය.

එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වුවහොත් සහාය දෙන්නේ කවරකුට දැයි බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකට පිළිතුරු දුන් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ: "මගේ පුද්ගලික මතය ගත්තොත්, ඔහු වෙනත් පෙරමුණකින් තරඟ කළොත් මහින්ද මහත්තයත් එක්ක තමයි මම ඉන්නේ," යනුවෙන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර