මුලතිව් උපවාසකරුවන් අත් අඩංගුවට ගෙන අවවාද කෙරේ

Image caption යුද හමුදාව ඉඩම් අල්ලා ගෙන ඇති බව පවසමින් උතුරේ කලින් පැවති විරෝධතාවක්

මුලතිවු, කෝකිලායි පළාතේ දෙමළ වැසියන්ට අයත් ඉඩම්වල බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට එරෙහිව අද, සිකුරාදා උපවාසයක් දියත් කළ අවස්ථාවේදී උපවාසයේ සංවිධායකයින් හතර දෙනෙකු මුලතිවු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් හතර දෙනා අතර මුලතිවු ප්‍රාදේශීය මාධ්‍යවේදී එස්.ජූඩ්සන්ද සිටි අතර ඔහු එසේ අත්අඩංගුවට පත්වුයේ තමන්ටද අයත් ඉඩමක් එම විහාරස්ථානය ඉදිකිරීමට බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ බැවින් ඊට විරෝධය පළ කිරීමට ගිය අවස්ථාවේදී බවයි ඔහු කියා සිටියේ.

පළාතේ දේශපාලනඥයන් පිරිසක් පැමිණ පොලීසිය සමග සාකච්ඡා කොට උපවාසය සංවිධානය කළ පිරිස නිදහස් කර ගෙන ඇතත් පොලීසිය ඔවුන් නිදහස් කළේ යළි මෙවැනි උපවාස දියත් නොකරණ බවට ලිඛිත ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව බවද ජූඩ්සන් ප්‍රාදේශීය මාධ්‍යවේදියා පැවසුවේය.

තම ඉඩම් වල පමණක් නොව මුලතිවු පළාතේ බොහෝ ඉඩම්වල බලහත්කාරයෙන් විහාරස්ථාන ඉදිකරණ අතර ඒ සදහා යුදහමුදාව පූර්ණ සහාය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෙම සිද්ධිය ගැන තවමත් තමන්ට තොරතුරු ලැබී නොමැති බවයි.

පසුගිය සතියේ කැලිෆෝනියාවේ සිට ක්‍රියාත්මකවන ඕක්ලන්ඩ් නැමති මානව හිමීකම් සංවිධානය සිය වාර්තාවක් මගින් පෙන්වා දී තිබුණේද යුද හමුදාව උතුරේ බෞද්ධ ජනතාව නොමැති පළාත්වල දෙමළ වැසියන්ගේ ඉඩම්වල විහාරස්ථාන ඉදිකරණ බවයි.

මේ හේතුවෙන් දෙමළ ජනතාවගේ ඉඩම් හා නිවාස ඔවුන්ට අහිමිවන අවදා නමක් දක්නට ඇතැයිද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

Image caption මුලතිව් හි යුද හමුදාව විසින් ඉඩම් අල්ලා ගෙන ඇති බව පවසමින් කළින් පැවතී විරෝධතාවක්

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් බී.බී.සී.සන්දේශය කළ විමසීමකදී කියා සිටියේ උතුරේ පමණක් නොව නැගෙනහිරද දෙමළ වැසියන්ට අයත් ඉඩම්වල යුද හමුදාවේ සහ රජයේ සහයෝගය ඇතිව දෙමළ වැසියන්ගේ ඉඩම්වල බලහත්කාරයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදිකරණ බවයි.

බෞද්ධ ආගමට හෝ වෙනත් කිසිදු ආගමකට දෙමළ වැසියන් ඊර්ෂ්‍යා කිරීමක් හෝ විරෝධය දැක්වීමක් සිදු නොකළත් දෙමළ වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම ඔවුන් කිසිසේත්ම අනුමත නොකරණ බවද පැවසුවේය.

උතුරු නැගෙනහිර පළාත්වල සිදු වන මේ අසාධාරණය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිපි දෙකක්ම යවා ඇතත් ඉන් එකකටවත් පිළිතුරු ලැබීමක් හෝ සහනයක් ලබාදීමක් හෝ මෙතෙක් සිදු නොවූ වගද ශිවසක්ති ආනන්දන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් විමසීමක් කිරීමට උතරු පළාත් ආණ්ඩුකාරවරයා සහ යුද හමුදා ප්‍රකාශකයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලත් එය සාර්ථක නොවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.