'පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති එකඟ වුනා'

විශ්වාස භංග යෝජනාව නිසා මතු වී ඇති තත්වය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කළ බවත් සියල්ල සිදු වන්නේ ඔවුන් දෙදෙනාගේ එකඟතාවය මත බවත් එජාපයේ ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා කියා සිටියේය.

‘මම මේ මොහොතකට පෙරත් අගමැතිවරයා සමඟ කතා කළා. එතුමා කිව්වා පාර්ලිමේන්තුව විසුරුවල මැතිවරණයකට යාමට අවශ්‍ය පියවර ගන්නවා කියල. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවය මත තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඉතාම කෙටි කාලයක් තුළ විපක්ෂයේ සියලුම සංදර්ශන ඉවර වෙනවා. තවම දිනයක් ප්‍රකාශයට පත් නොකළත් ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා එකඟ වෙලා තියෙනවා.’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇමතිවරයා පැවසීය.

අලුත් අගමැතිවරයෙක්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙකු යටතේ ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යාමට එජාපය සුදානම් නොමැතිදැ’යි කළ විමසුමට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා කියා සිටියේ තම පක්ෂයේ මූලිකත්වයෙන් පත් කර ගත් ජනාධිපතිවරයකු සිටින බැවින් තම පක්ෂයේ ගමන පිළිබඳ විශ්වාසයක් පවතින බවයි.

‘ජනවාරි අට වැනිදා විශ්වාසය භංග වෙලා ඉවරයි. අපි ලෑස්තියි ඡන්දයකට යන්න. විපක්ෂයට කිසිම අයිතියක් නැහැ ජනතාවගේ මතයට පිටින් ගොස් ආණ්ඩුවක් පිහිටුවන්න. ඔය මැති ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ දිනවන්න වැඩ කළ අය. ජනතාව ඒ අය ප්‍රතික්‍ෂේප කරලා ඉවරයි.’ එජාපයේ ප්‍රකාශක පැවසීය.

විපක්ෂයේ ක්‍රියා කලාපය නිසා නව මැතිවරණ ක්‍රමය සම්මත කර ගැනීම පමා වූ හෙයින් මීළඟ මැතිවරණය, පවතින ක්‍රමයටම පැවැත්වෙන බවත් ඉදිරියේදී අනිවාර්‍යයෙන්ම එය සම්මත කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර