ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංචාරකයන්ගේ සංඛ්‍යාත්මක වර්ධනයක්

පසුගිය කාල සීමාව ඇතුලත ශ්‍රී ලංකාවට ලඟා වූ සංචාරකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහල ගොස් ඇති බව සංචාරක අංශයේ අලුත්ම සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කෙරෙයි.

එක වාර්තාවකට අනුව 2015 ජනවාරි මාසයේ පටන් මැයි මාසය නිම වන විට සංචාරකයන් 714584 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය සංචාරක ආගමනය 14.5 % කින් වැඩි වීමකි.

එම කාල සීමාව ඇතුළත දකුණු ආසියානු රටවලින් පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාවේ ද වැඩි වීමක් පෙන්නුම් කරයි.

මේ පිළිබඳව බීබීසිය කළ විමසීමකදී සංචාරක කටයුතු භාර ඇමති වසන්ත සේනානායක සඳහන් කරන්නේ වත්මන් රජය බලයට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පවතින ‘සුරක්ෂිතභාවය පිලිබඳ විශ්වාසයත් ‘සමඟ යුරෝපා රටවලින් පැමිණෙන අමුත්තන්ගේ ගණන වැඩි වූ බවයි.

නොසෑහෙන ප්‍රතිලාභය

එහෙත් සිය නම මාධ්‍යය මගින් ප්‍රචාරය කිරීමට අකමැති ශ්‍රී ලාංකික හෝටල් ව්‍යාපාරිකයෙක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රගතියක් ලබා ඇතත් තවමත් එය ලාභදායක මට්ටමකට පත් වී නොමැති බවයි.

සංචාරක සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කෙරුණත් ඔවුන් රට තුල වැය කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය ඉහල මට්ටමක නොවීම නිසා ආණ්ඩුවට මෙන්ම සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ටත් ලැබෙන ප්‍රතිලාභය ප්‍රමාණවත් නොවන බවයි එම ව්‍යාපාරිකයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නුගේගොඩ ධනංජය සංචාරක ආයතනයේ ප්‍රවර්ධන වැඩ සටහන් අධ්‍යක්ෂ අනුර ප්‍රියදර්ශන අදහස් දක්වමින් ‘ලොව සිත් බැඳ ගනු ලබන ස්වාභාවික පරිසරයක් සහිත ශ්‍රී ලංකාවේ චිත්‍රය සංචාරකයන් අතරට එක්‌ කළ හොත් ලබා ඇති ප්‍රගතිය තවත් සාර්ථක කර ගත හැකි’ බවයි පෙන්වා දෙන්නේ.