බේරුම්කරණ මධ්‍යස්ථානය: 'වසර දෙකක කුලිය අපතේ'

Image copyright Sujeewa Senasinghe

ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය වෙනුවෙන් වෙන් කළ කාර්යාලයට වසර දෙකක පමණ කාලයක් තිස්සේ මසකට රුපියල් ලක්ෂ දෙකක පමණ කුලියක් ගෙවමින් පැවතුණ බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.

මෙම කාර්යාලය පිළිසකර කිරීම සඳහා ද විශාල මුදලක් වැය කොට තිබුනත් පසුගිය වසර දෙක තිස්සේ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය ආරම්භ නොකිරීම පිළිබඳව ගැටළුවක් මතු වී ඇති බවයි නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ.

‘රටේ ජනතාවගේ සල්ලි මේ. ලක්ෂ දෙක ගානේ මාසෙකට ගෙවන කොට ලක්‍ෂ පනහක් විතර නිකරුනේ කුලී වශයෙන් ගෙවා ඇති බවට අපට තොරතුරු ලැබුනා. මේක පිළිසකර කරන්නත් විශාල මුදලක් වැය කරලා තිබුනා. අපේ ආණ්ඩුව ආපු ගමන් එය විවෘත කිරීම සඳහා කටයුතු කළා.’ ඔහු පැවසීය.

යහ පාලනය

නමුත් එවකට මෙම විෂය භාර ඇමතිවරයා ද නව පාලනයේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කර තිබීම යහ පාලනයට එකඟ දැයි බීබීසීය ප්‍රශ්න කළ විට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කියා සිටියේ ඊට වගකිය යුත්තා කවුරුන්ද යන්න නිශ්චිතව සොයා ගැනීමට පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

‘ඒ සම්බන්ධයෙන් වගකිය යුත්තේ හිටපු ඇමැතිවරයාද නැතිනම් ලේකම්වරියද කියන එක ගැන පරීක්ෂණයක් කළ යුතු වෙනවා. මේ පිළිබඳව අධ්‍යයනයක් අපි තවම කරලා නැහැ.’ නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

ලේකම්වරිය

නමුත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය විශ්‍රාම යායුතු කාලය පසු වී ඇති නමුත් තවදුරටත් සේවා දිගු ලබා දෙමින් ඇය අමාත්‍යංශයේ තවමත් තබා ගෙන සිටින බව නියෝජ්‍ය ඇමතිවරයා පිළිගත්තේය.

මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා හිටපු අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් ඇමතීමට බීබීසීය ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

යහ පාලනය ආරම්භයේදී තමා සිර මැදිරි තුළට ගොස් සිරකරුවන් හමුවී ඔවුන්ගේ ශුභ සාධනය සඳහා බොහෝ ව්‍යාපෘති ආරම්භ කරන බව පැවසුවත් ඒවා මේ වන විට හුදු මාධ්‍ය සංදර්ශන බවට පත් වී නොමැතිදැ’යි බීබීසීය විමසූ විට ඔහු කියා සිටියේ තම ව්‍යාපෘතියට අමාත්‍යංශ ලේකම්වරියගේ අනුමැතිය නොලැබීම නිසා එය තවමත් ඉටු කිරීමට නොහැකි වී ඇති බවයි.

‘මේ කාරනා හින්ද යම් කිසි කලකිරීමකට පත් වෙලා මගේ කාර්ය භාරය අඩු වුනා. මම නියෝජ්‍ය ඇමතිවරයෙක් නිසා වෙන්න ඇති වැඩ කරන්න අමාරු.’ ඔහු තවදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර