විල්පත්තුව: නැවත පදිංචි කිරීම 'ඇමති රිෂාඩ්ට අයිති නැහැ'

Image copyright JVP
Image caption ‘ජනවාරි අට වැනිදා රටේ ජනතාව ලබා දුන් ජනවරමේ ප්‍රධාන සාධකය වුණේ වංචා දූෂණයට සම්බන්ධ වූවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමත් ඔවුන් එක් රැස් කළ ධන සම්භාරය නැවත මහජනතාව වෙත පවරා ගැනීමටයි’

අවතැන් වූ පිරිස් නැවත පදිංචි කිරීම රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයාට අයත් කාර්යභාරයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ විල්පත්තු වන සංරක්ෂිතය අවට ඉදිකිරීම් පිළිබඳ අදහස් දක්වමින්.

අවතැන් වූ පිරිස් නැවත පදිංචි කර වීම පිළිගන්නා නමුත් එය නිසි ක්‍රමවේදයකට සිදු විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

‘ඒක ආණ්ඩුවේ වැඩක්. ඒක රිෂාඩ් බදියුද්දීන්ගේ වැඩක් නෙවෙයි. රිෂාඩ් බදියුද්දීන් ඇවිල්ලා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා නෙමෙයි අඩුම තරමේ’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

විල්පත්තු වනයේ පමණක් නොව රටේ බොහෝ පළාත්වල පරිසර විනාශයක් වෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘බොහෝ පළාත්වල දේශපාලනඥයන් තම දේශපාලන අධිකාරි බලය උපයෝගී කර ගෙන බොහෝ පළාත්වල කැලෑ කපමින් මිනිස්සු පදිංචි කරමින් ඉන්නවා’ ඔහු පැවසුවේය.

'අල්ලස් හා දූෂණ'

මේ අතර මහජන මුදල් වංචා කළ පුද්ගලයන්ට දඬුවම් ලබා දීම අඩපණ වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේය.

''පසුගිය රජය සමයේ සිදු කළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු තිබියදීත් නිසි පරීක්‍ෂණ පැවැත්වීමට බාධා සිදු කරන්නේ ඇයි දැයි'' ඔහු ප්‍රශ්න කළේය.

‘ඉස්සර පාර්ලිමේන්තුවේ හඬක් තියෙනවා වංචා දූෂකයන් හෙළිදරව් කරන්න. අද පාර්ලිමේන්තුවේ නිදියනවා වංචා දූෂකයන්ට දඬුවම් දීම වළක්වන්න. අද පාර්ලිමේන්තුව හැසිරෙමින් තියනවා අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව අක්‍රිය කරන්න’ ඔහු කියා සිටියේය.

‘ජනවාරි අට වැනිදා රටේ ජනතාව ලබා දුන් ජනවරමේ ප්‍රධාන සාධකය වුණේ වංචා දූෂණයට සම්බන්ධ වූවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමත් ඔවුන් එක් රැස් කළ ධන සම්භාරය නැවත මහජනතාව වෙත පවරා ගැනීමටයි’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘රාජපක්ෂ කල්ලියේ මුදලුත් තමන් සතු කළු ව්‍යාපාරවලින් උපයා ගත් ව්‍යපරිකයනුත්, ඒ සියලු බලය උපයෝගී කොට ගෙන මේ මහජන මතය යටපත් කරන්න උත්සාහයක යෙදෙනවා’ ඔහු පැවසීය.

හිටපු ජනාධිපති බිරිඳගෙන් සිරිලිය ගිණුම සම්බන්ධ කට උත්තරයක් ලබාගැනීමට කථානායක නිල නිවස භාවිත කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ රටට පැහැදිලි කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි අන්තර්ජාල යොමු

වෙනත් අන්තර්ජාල අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ