බෝ වෙන ඇස් රෝගයක්!

Image caption ඇසට දැනෙන අපහසුව, කෙවීම, රතු වීම, කඳුළු ගැලීම අක්ෂි පටල ප්‍රදාහයේ රෝග ලක්ෂණ වේ

ශ්‍රී ලංකාව පුරා ඇස් රෝගයක් සීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බවට ජාතික අක්ෂි රෝහල අනතුරු හඟවයි.

අක්ෂි පටල ප්‍රදාහය නමින් හැඳින්වෙන ඇස් රෝගය වැළඳුණු පුද්ගලයින් කොළඹ ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි සංදේශයට කියා සිටියේ.

ඇසට දැනෙන අපහසුව, කෙවීම, රතු වීම, කඳුළු ගැලීම අක්ෂි පටල ප්‍රදාහයේ රෝග ලක්ෂණ වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

ස්පර්ශයෙන් පමණක් රෝගය පැතිරෙන බව පවසන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ පාසල්, නේවාසිකාගාර සහ ආයතන තුළ පහසුවෙන් ඇස් රෝගය ව්‍යාප්ත විය හැකි බවයි.

ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළින් දින දෙක තුනක කාලයක් ඇතුළත රෝගය සුව අතට පත් වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

‘ඇහැ පොඩි කරන්නේ නැතුව, අල්ලන්නේ නැතුව, දූවිල්ලට ඇස් නිරාවරණය වෙන්නේ නැතුව විවේක ගැනීමක් එක්ක තමයි මේ ප්‍රතිකාරයේ හරි ක්‍රියාකාරීත්වය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ’ වෛද්‍යවරයා පැවසීය.

අක්ෂි ප්‍රදාහයට නිසි ප්‍රතිකාර නොගැනීම හේතුවෙන් අක්ෂි පටලයට හානි සිදු වී විවිධ රෝග සංකූලතාවයන්ට ගොදුරු විය හැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේය.