ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපතිගෙන් දේශපාලන පක්ෂ වලට පණිවුඩයක්

විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැමතිද, අකමැතිද යන්නත් එය සම්මත කිරීම සඳහා සහාය දෙන්නේද, නැද්ද යන්න පිළිබඳවත් ඉදිරි සතියක දෙකක කාලය තුළ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා එම දැනුම් දීම කළේ සඳුදා සවස කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමකදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ කීපයක ද නායකයන් සහභාගී වූ එම රැස්වීම අමතා වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ‘යම් යම් තැන්වල’ විසි වෙනි සංශෝධනය වළක්වා ලීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වේදිකාවට නැග ප්‍රකාශ කරන ආකාරය අනුව යමින් විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු සියලු දේශපාලන පක්ෂ වලට ආයාචනයක් කළේය.

අභියෝගයට එරෙහිව

විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය සහ සමානුපාතික නියෝජන ක්‍රමයට එක් කෙරුණ මනාප ඡන්ද ක්‍රමය මහජන නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් වන හෙයින් එම ක්‍රමය ආරම්භ කෙරුණ 1978 පටන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික දේශපාලන පක්ෂ ඊට එරෙහි වූ බවත් ජනාධිපතිවරයා සිය කතාවේ දී සිහිපත් කළේය.

එම රැස්වීම අමතා කතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සිය පක්ෂය විසි වෙනි සංශෝධනයට සූදානම් බවයි.

සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න අදහස් දක්වමින් කියා සිටියේ විසි වෙනි සංශෝධනය දහනව වැනි සංශෝධනයටත් වඩා වැදගත් බවයි.