ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බහුතරයක් ලැබුණත් පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් - එජාපය

එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබා ගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

‘අපි එක්සත් ජාතික පක්ෂය රටේ තනිවම ආණ්ඩුවක් පිහිටු වන්න පුළුවන් බලයක් ගන්නවා. එකසිය විස්සක් එකසිය විසි පහක් පාර්ලිමේන්තුව තුළ අර ගෙන, ඊට පස්සේ ඔක්කොම එකතු කර ගෙන පාලනය ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ’ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින්.

සුළු ජාතීන් පමණක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන බවට ඇතැමුන් කියා සිටියත් සිංහල බෞද්ධ ඡන්ද ලබා ගනිමින් තම පක්ෂය මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ.

‘එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැමෝටම එකම වහලක් යට ඉඳගෙන තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් පක්ෂයක්’ ඔහු කියා සිටියේය.

'ජනතාවට බරක්'

මේ අතර පවතින පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය වැඩි නොකොට මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ සඳුදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී යෝජනා කළ බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

‘එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා කිව්වා මන්ත්‍රීවරුන් දෙසීය විසිපහකට වැඩිය වැඩි කරන ඒක ජනතාවට බරක්, පළාත් සභා ක්‍රමයත් ක්‍රියාත්මක වෙන නිසා’ ඔහු කියා සිටියේය.

ඇතැම් කණ්ඩායම් චෝදනා කරන ආකාරයට විසි වන සංශෝධනය කඩාකප්පල් කිරීමට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් පැවසුවේය.