කැෆේ සංවිධානය 19 සංශෝධන ක්‍රියාවට නැගීමේ ප්‍රමාදය ප්‍රශ්න කරයි

රජිත් කීර්ති තෙන්නකෝන් Image copyright rajith keerthi thennakoon
Image caption රජිත් කීර්ති තෙන්නකෝන්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් නොවූ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් සිටින පාර්ලිමේන්තුවක් ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන සිවිල් පුරවැසියන් ගේ අධ්‍යාපන සුදුසුකම් විමසමින් දහනමවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවට නැංවීම කනගාටුවට කරුණක් බව කැෆේ මැතිවරණ නිරීක්ෂක ප්‍රධානි රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටී.

ඔහු පවසන පරිදි වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් 142 දෙනෙක් උසස් පෙළ සමත් නැති අතර 94 දෙනෙක් සාමාන්‍ය පෙළ සමත් නැත.

“ව්‍යවස්ථා සභාවට පත් කිරීමට නියමිත සිවිල් පුරවැසියන් වන ආචර්ය ඒ ටී ආරියරත්න,අචාර්ය රධිකා කුමරස්වාමී සහ ඒ ඩබ්ලිව් සලීම් ගේ අධ්‍යපනික සුදුසුකම් ගැන විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරු ප්‍රශ්න කළා.මේක සුක්ෂම ලෙස ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට එරෙහිව ගෙනි යන වැඩ පිළිවෙළක්” යැයි තෙන්නකොන් කියා සිටියේය.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පත් කිරීමෙන් තොරව සාධාරණ මැතිවරණයක් පැවත්වීම දුෂ්කර විය හැකි බව කැෆේ මැතිවරණ නිරීක්ෂක ප්‍රධානි රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් පුරවැසියන් පත් කිරීම පිළිබඳ මතුව තිබෙන ගැටළු සමථයට පත් කර ගන්නා තුරු දැනට පත් කර සිටින සාමාජිකයන් හත් දෙනාගෙන් එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කළ බව කැබිනට් තීන්දු තීරණ ප්‍රකාශයට පත් කළ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.