ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහ මැතිවරණය ඉල්ලන්නේ 'ජිනීවා වාර්තාව නිසා'

ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ චෝදනා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම මහමැතිවරණයක් කැඳවීමට උත්සාහ කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 'මහින්ද පාර්ශවය' එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරයි.

කොළඹ අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍යවේදීන් ඇමතූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා, එක්සත් ජාතීන්ගේ වාර්තාව නිකුත් වී රටේ ජනමතය පාලනය කර ගැනීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය බියට පත්ව සිටින බව පැවසීය.

නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් කළ බව පැවසෙන ප්‍රකාශයක් උපුටා දක්වන හිටපු අමාත්‍යවරයා, එම වාර්තාව මගින් ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු වැරදි කරුවන් ලෙසින් නිගමනය කර තිබෙන බව සඳහන් කළේය.

එරික් සෝල්හයිම්

"සොල්හයිම් කියනවා මේ වාර්තාවේ තියෙන නම් දැක්කම පුදුම හිතෙයි කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඔවුන්ට කිව්වා කියලා," ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසීය.

Image copyright AFP
Image caption "සොල්හයිම් කියනවා මේ වාර්තාවේ තියෙන නම් දැක්කම පුදුම හිතෙයි කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඔවුන්ට කිව්වා කියලා"

"ඒ හින්දා එක්සත් ජාතික පක්ෂයේ උපක්‍රමයක් තියෙනවා, ඒ වාර්තාව නිකුත්වීමට පෙර රටේ ජනමතය ගැන සලකා බලල මැතිවරණයකට යන්න."

එක්සත් ජාතීන්ගේ වාර්තාව සහ මහමැතිවරණය අතර සම්බන්ධය කුමක්දැයි කොළඹ සිටින බීබීසී වාර්තාකරු ඩලස් අලහප්පෙරුම මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා, යුද වීරයන් පාවා දීමට කිසිවකුත් සූදානම් නැති බව පැවසීය.

"මේ ලැයිස්තුවේ සිවිල් පුද්ගලයෝ ඉන්නවා කියනවා. මේ සිවිල් පුද්ගලයෝ කවුද කියලා අනුමන කරන්න පුළුවන් මේ රටේ ඕනෑම කෙනෙකුට, ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සාධාරණ ලෙස හිතනවා ඔවුන්ට පාලනය කරන්න බැරි ජනමතයක් ඒ වෙලාවේ නිර්මාණය වෙයි කියලා."

සංශෝධනය 'සම්මත කරන්න බෑ'

විපක්ෂය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවට චෝදනා කරන එක්සත් ජාතික පක්ෂය, ඉක්මන් මැතිවරණයක් ඉල්ලා සිටින්නේ ජයග්‍රහණය පිළිබඳව තිබෙන විශ්වාසය හේතුවෙන් නේදැයි කළ විමසීමට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ, ආණ්ඩුවේ අර්බුදය උත්සනන වීම මැතිවරණයක් ඉල්ලා සිටීමට හේතුව බවයි.

Image copyright Ajith P Perera
Image caption "20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත හැකි වාතාවරණයක් නෑ"

මේ අතර කොළඹදී මාධ්‍යවේදීන් ඇමතු නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා, දැනට පවතින දේශපාලන තත්ත්වය අනුව නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත හැකි වාතාවරණයක් නැති බව කියා සිටියේය.

එබැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පසුව නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20 වැනි සංශෝධනය සිදු කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.