ඔබාමාගේ සංචාරයක් ගැන තොරතුරු නෑ - ඇමෙරිකාව

Image copyright EPA
Image caption බරක් ඔබාමාගේ ශ්‍රී ලංකා සංචාරයක් ගැන "මේ දක්වා තොරතුරු අනාවරණය වී නෑ"

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමාගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරයක් පිළිබඳව මේ දක්වා තමන්ට තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලයේ ප්‍රකාශක ජොෂුවා ශෙන් ඒ බව කියා සිටියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පොරොන්දු වී ඇති බවට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තරය සමඟ කිසිදු විරසකයක් නොමැති බවත් මේ වන විට ‘ජාත්‍යන්තර නායකයන්’ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ‘පෙළ ගැසී’ සිටින බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

Image caption "ජාත්‍යන්තර නායකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පෙළ ගැසී සිටිනවා"

‘තව තැනක කියල තියෙනවා අපි ජාත්‍යන්තරය තරහ කර ගත්තලු. අපි එහෙම දෙයක් කරලා නැහැ. අද ජාත්‍යන්තර නායකයෝ පෙළ ගැහිලා ඉන්නවා ලංකාවට එන්න. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය තුමා ආව. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ආව. දැන් ජනාධිපති බරක් ඔබාමාත් අවුරුද්දෙ අන්තිමට ලංකාවට එන්න පොරොන්දු වෙලා තියෙනවා.’ මාධ්‍යවේදීන් අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයා කලාපයේ කරන සංචාර හෝ වෙනත් චාරිකා පිළිබඳ සම්පූර්ණ විස්තර තමන් සතුව නැති නමුත් ඔහුගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරයක් මේ වනතුරු නිවේදනය කොට නැති බවයි, ජොෂුවා ශෙන් අවධාරණය කරන්නේ.

ඊළඟ වසරේදී හෝ ජනාධිපති ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේ දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා කියා සිටියේ, තමන්ට දැනට ඊට වඩා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.