මොහාන් පීරිස්ට එරෙහිව 'දූෂණ පරීක්ෂණයක්'

Image caption මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රේගුව වෙත නිකුත් කළ නියෝගයකින් රජයට රුපියල් මිලියන 619 ක පාඩුවක් සිදු වූ බවට චෝදනා

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව එල්ල වී තිබෙන වංචා, දූෂණ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් කොමිසම තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කෙරිණ.

මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රේගුව වෙත නිකුත් කළ නියෝගයකින් රජයට රුපියල් මිලියන 619 ක පාඩුවක් සිදු වූ බව පැවසෙන අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි අල්ලස් කොමිසමට නියෝගයක් පනවන මෙන් ඉල්ලා නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ නීතිවේදි කොඩිතුවක්කු අධිකරණය හමුවේ කියා සිටියේ මොහාන් පීරිස්ට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවට අල්ලස් කොමිසම ලිඛිතව දැනුම් දී තිබෙන නිසා පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම අනවශ්‍ය බවයි.

එබැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම පිණිස අවසර දෙන මෙන් නීතිවේදියා ඉල්ලීමක් කළේය.

ඒ අනුව පෙත්සම ලබන ජුලි 27 වැනි දින කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම ඉල්ලීම සලකා බලන බව නිවේදනය කළේය.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු කියා සිටියේ, පොරොන්දු ප්‍රකාර අල්ලස් කොමිසම එම පරීක්ෂණය නොපවත්වන්නේ නම් යලිත් වරක් පෙත්සම ඉදිරිපත් කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර