"ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගැනීම් තවදුරටත්"

මැද පෙර දිග රැකියා සඳහා ගොස් ආපසු පැමිණෙන එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් ගුවන් තොටුපලේදීම අත් අඩංගුවට ගැනීම තවදුරටත් සිදු වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

තමන් සතු තොරතුරුවලට අනුව පසුගිය මාස පහක කාලය තුළ 18 දෙනකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනකු පසුව නිදහස් කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේත්රම් ප්‍රකාශ කළේය.

“ඥාතීන්ගේ තොරතුරු අනුව කලින් LTTE යට කැමැත්තෙන් බැඳුණු අය, අකමැත්තෙන් බැඳුණු අය, පසුව තම කැමැතෙන්ම ඉවත් වී විවාහ වී සාමාන්‍ය ජීවිතය ගත කල අය ඉන්නවා. දුප්පත්කම හේතුවෙන් මේ අය මැද පෙරදිග රටවලට ගිය අය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිටි කාලයේ කීප වතාවක් රටට ඇවිත් ගිය අය පවා අත් අඩංගුවට ගැනුණු අය අතර සිටිනවා”

පැමිණිල්ලක්

ඊයේ බදාදා කන්දපොඩි තවරාජා නමැති 36 හැවිරිදි දෙදරු පියකු කටුනායක ගුවන් තොටුපලේදී අත් අඩන්ගුවට ගැනුණු බව ඥාතීන් තමන්ට පැමිණිලි කළ බවයි අරියනේත්රම් මන්ත්‍රීවරයා පැවසුවේ.

ඔහුගේ බිරිඳ සසිකලා තවරාසාගෙන් විමසු විට ඇය කියා සිටියේ මානව හිමිකම් කොමිසමට අද, බ්‍රහස්පතින්දා පැමිණිලි කළ බවයි.

“ඊය දවල් 1.30. විතර කටුනායක ගුවන් තොටුපොළට ඇවිත් තිබෙනවා. මගේ මල්ලි ඔහුව පිළිගැනීමට එතනට ගොස් සිටියා. සවස 5.00 ට විතර මල්ලිගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවා. ටී අයි ඩී එකෙන් කියා. ඔහුව ප්‍රශ්න කිරීමට අරන් යන බවත් ඇවිත් ඔහු සතුව තිබුන බඩු රැගෙන යන්න කිව්වා, “ සිද්ධිය විස්තර කරමින් ඇය පැවසුවාය.

පුද්ගලයන්ගේ ලැයිස්තුවක්

පාර්ලිමේන්තුවේ කීප වතාවක්ම මෙවැනි අත්අඩංගුවට ගැනීම් ගැන සාකච්ඡා කර ඇති බව පැවසූ අරියනේත්රම් මන්ත්‍රීවරයා, ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව තමන් සතුව තිබු අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් අමාත්‍යවරයා ට බාර දී ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, රුවන් ගුණසේකරගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ එම අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තොරතුරු ඇත්නම් ඒ ගැන සොයා බැලිය හැකි බවයි.