ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සන්නස්ගලට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් බියක්

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ ඉතාම යහපත් ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන බව ප්‍රවීණ දේශක හා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

එහෙත් ජනාධිපතිවරයා වටා සිටින පිරිසක් විසින් ඔහු විනාශ කරනු ඇතැයි තමන්ට විශාල බියක් දැනෙන බවත් උපුල් ශාන්ත සන්නස්ගල සඳහන් කරයි.

ඉදිරි පාර්ලිමේන්තුව මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම් වන උපුල් ශාන්ත සන්නස්ගල එම ප්‍රකාශය කළේ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින්.

‘මේ වෙලාවේ කවුරුන් හෝ කියනවා නම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න එපා මේක තව ඇද ගෙන යන්න කියලා ඒක වැරදියි. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන. මම හිතනවා ජනාධිපතිතුමාට මේක වැටහෙනවා කියලා’ සන්නස්ගල කියා සිටියි.

පසුගිය ජනවාරි අට වෙනි දින පරාජය කළේ මහින්ද රාජපක්ෂ නොව ඔහුගේ දේශපාලන සංස්කෘතිය බව පවසන උපුල් ශාන්ත සන්නස්ගල ‘අරාජික මට්ටමක ඇති වත්මන් පාර්ලිමේන්තුව තවත් ඉදිරියට රැගෙන යාම නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ එම දේශපාලන සංස්කෘතිය තවමත් පරාජය කළ නොහැකි වී ඇති’ බවයි පෙන්වා දුන්නේ.

බලයේ සිටින වත්මන් සුළුතර ආණ්ඩුව නිසා රට අස්ථාවර වී තිබෙනවා නොවේදැයි අසාම් අමීන් ප්‍රශ්න කළ විටයි සන්නස්ගලගෙන් එම පිළිතුර ලැබුණේ.

‘එක් කෙනෙක් කිව්වනේ අප්පච්චි මළා කියලා, ඒ ගොල්ල දැන ගන්න ඕන පුතාලාත් මළා කියලා, මේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන, විසුරුවන්නේ නැත්නම් එතැන පෞද්ගලික න්‍යාය පත්‍රයක් තියෙනවා’ සන්නස්ගල පවසයි.

අසාම් අමීන් උපුල් ශාන්ත සන්නස්ගල සමග පැවැත්වූ සාකච්ඡාව ඇතුළත් වීඩියෝ පටය මෙහි දී නරඹන්න.