මාතර වෙරළේ ජෙලි මත්ස්‍යයෝ: '20 ක් රෝහලේ'

Image copyright AFP

මාතර ප්‍රදේශයේ වෙරලේදී ජෙලි මත්ස්‍යයන් ස්පර්ශ කළ විස්සකට ආසන්න පිරිසක් ගතව ගිය දින කිහිපය ඇතුලත රෝහලට ඇතුලත් කොට තිබෙන බව වාර්තාකරුවෝ පවසති.

ඉරිදා උදෑසන පමණක් තිදෙනකු රෝහලට ඇතුලත් කොට තිබෙන බවයි, මාතර රාවය වාර්තාකරු බී කේ ප්‍රියන්ත සංදේශයට කියා සිටියේ.

ජෙලි මත්ස්‍යයන් ස්පර්ශවීමෙන් පසුව හටගන්නා අසාත්මිකතාවය සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයේ පැය කිහිපයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව වාට්ටුවලට ඇතුලත් කෙරෙන බවත්, පැය 24 ක් පමණ ඇතුලත ඔවුන් සුවය ලබන බවත් ඔහු පැවසීය.

මේ තත්වය හේතුවෙන් යළි දැනුම්දෙන තුරු පොල්හේන ඇතුළු මාතර ප්‍රදේශයේ මුහුදේ නෑමෙන් වලකින මෙන් බලධාරීහු ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබේ.

මෙය මාතර ප්‍රදේශවාසීන්ට සාමාන්‍ය සිදුවීමක් වුවත්, වෙනත් ප්‍රදේශවල සිට පැමිණෙන සංචාරකයන් ඒ බවක් නොදැන මුහුදේ නාන්නට ගොස් ජෙලි මත්ස්‍යයන් ස්පර්ශ කිරීම මේ අනතුරු ඇඟවීමට හේතුවී තිබේ.

පොල්හේන ඇතුළු වෙරළ තීරයේ දිගටම ජෙලි මත්ස්‍යයන් ගැවසුනහොත් එහි ස්නානය කිරීම තහනම් කිරීමට සිදුවනු ඇතැයි මේ අතර බලධාරීහු අනතුරු අඟවති.