මහින්ද අගමැති කිරීමට ජනපති අවශ්‍ය නෑ - විමල්

Image caption 'මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ ක්‍රියාවලිය සිරිසේන ජනාධිපතිවරයා මත යැපෙන්නේ නැහැ'

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස පත් කරන ලෙස හෝ ඔහුට නාම යෝජනා ලබා දෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශව කාර පක්ෂ කිසිවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීම් කර නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් එවැනි උත්සාහයක නියැලෙන බව වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ කොළඹ අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී බීබීසීයේ අසාම් අමීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

‘අපි මේ අරමුණ වෙනුවෙන් පෙබරවාරි 18 ඉඳල කැප වුණේ, ජනාධිපති සිරිසේන එහෙම අවස්ථාවක් දෙයි කියලා හිතා ගෙන නෙමෙයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර කොටස් එහෙම උත්සහයක් දරනවා අපි ඒකට එපයි කියන්නෙත් නැහැ හානි කරන්නෙත් නැහැ’ මන්ත්‍රීවරයා පැවසීය.

‘මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ ක්‍රියාවලිය සිරිසේන ජනාධිපතිවරයා මත යැපෙන්නේ නැහැ’ යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීලඟ පියවර?

තමා ඇතුළු කණ්ඩායම ගෙන ගිය සටන හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද හිටපු ජනාධිපතිවරයා අගමැති කළ යුතු බවට හඬක් මතු වී තිබෙන බව පවසන පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල එය පක්ෂ අභ්‍යන්තරයේ විසඳා ගත යුතු ප්‍රශ්නයක් බවයි කියා සිටියේ.

හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය ලබා නොදෙන බවට ජනාධිපතිවරයා කිහිපවරක්ම ප්‍රකාශ කර ඇති නිසා හිටපු ජනාධිපතිවරයා අගමැති කිරීමේ වැඩපිළිවෙළේ මීලඟ පියවර කුමක්දැයි විමසූ විට උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා පැවසුවේ තමන් ජනාධිපතිවරයාගෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති නිසා එම ප්‍රශ්නය තමාට අදාළ නොවන බවයි.

මන්ත්‍රී ධුර, ඇමති ධුර, විපක්ෂ නායක ධුරය, අගමැති ධුරය සහ අවසානයේ ජනාධිපති ධුරය හෙබවූ පුද්ගලයකුට නැවත තනතුරක් අවශ්‍ය කුමකට දැයි පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය පිළිබඳ විමසීමේදී උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා කියා සිටියේ ඡන්දයට පැමිණීමට අවශ්‍යද නැද්ද යන තීරණය ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඉඩ ලබා දිය යුතු බවයි.

‘මහින්ද රාජපක්ෂට තීරණය කරන්න ඉඩ දෙන්න එතුමාට ජනාධිපති වෙලා ඉඳලත් අගමැති වෙලා ඉඳලත් ඡන්දෙට එන්න ඕනෙද කියලා, ඒක පුද්ගල අයිතියක්’ පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර