තරුණයන් පැහැරගැනීම: 'නාවික හමුදාපති දැන සිටියා'

Image copyright Getty
Image caption පැහැරගත් පුද්ගලයින් කොළඹ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල භූගත සිර මැදිරිවල රඳවා සිට තිබෙන බව පොලිසිය පවසයි

මීට වසර කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයේදී දෙමළ ජාතික තරුණයින් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ බව පොලිසිය පවසයි.

2009 සිදු වූ එම පැහැරගැනීමට ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ සම්බන්ධ යයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින්.

තරුණයින් පිරිස පැහැරගැනීම පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්කි දුන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා, අදාළ වකවානුවේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ පැහැරගෙන යාමේ සිද්ධීන් 11 කට සම්පත් මුණසිංහ නමැති නිලධාරියා සම්බන්ධ යයි පරීක්ෂණවලදී කරුණු අනාවරනය වූ බව කියා සිටියේය.

'කප්පම් ඉල්ලලා'

සම්පත් මුණසිංහගේ කාමරයේ තිබී අතුරුදන් වූ පුද්ගලයින් හතරදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ඇතුළු විදේශ ගුවන් ගමන් බලපත්‍ර සොයාගත් බව සඳහන් කළ පොලිස් නිලධාරියා, මෙසේ පැහැරගත් පුද්ගලයින් කොළඹ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල භූගත සිර මැදිරිවල රඳවා සිටි බවට තොරතුරු අනාවරණය වූ බවද පැවසීය.

පැහැරගත් පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් සම්පත් මුණසිංහ ඇතුළු පිරිස රුපියල් කෝටිය බැගින් කප්පම් ඉල්ලා ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ බවත් රහස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

පැමිණිල්ලේ නීතිවේදියා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා කියා සිටියේ, මෙම පැහැරගෙන යාම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් දැනුවත්ව සිටි බවත් හෙළි වී තිබෙන බවයි.

හිටපු නාවික හමුදාපතිවරයා නොදැනුවත්ව සම්පත් මුණසිංහ ඇතුළු නිලධාරීන්ට මෙවැනි ක්‍රියා කිරීමට ඉඩක් නොතිබූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

වැඩිදුර විභාගය ලබන මස 14 වැනි දින දක්වා කල් තැබුණි.