පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

Image copyright
Image caption "20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැති වෙනවා"

ලබන අගෝස්තු මාසයේ මහ මැතිවරණය පැවැත්වීමට අවස්ථාව සලසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කොට තිබේ.

සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවයි, කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව මහ මැතිවරණය අගෝස්තු 17 වැනි දින පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග බීබීසී සංදේශයට පැවසීය.

20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නොහැකි වීම සහ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනා හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර ජනාධිපතිවරයාට විකල්පයක් නොමැති බවයි, ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

'බූමරංගයක් වුනා'

එහෙත් 20 වැනි සංශෝධනය සම්මත කරගන්නා තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, ජනාධිතුමාගේ ස්ථාවරය එය වූ බවයි.

"නමුත් අවාසනාවකට 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැති වෙනවා," ශිරාල් ලක්තිලක සඳහන් කළේය.

Image copyright NewsFirst
Image caption "තමන්ගේම කැබිනට් සගයන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම ශීලාචාර හෝ යුක්ති සහගත නෑ කියල ජනාධිපතිතුමා විශ්වාස කළා"

අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහි විශ්වාස භංග යෝජනා න්‍යායපත්‍රයෙන් ඉවත්කරගැනීමට හෝ කල් දමා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රබල උත්සාහයක් දැරූ බව සඳහන් කළ ඔහු, "තමන්ගේම කැබිනට් සගයන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම ශීලාචාර හෝ යුක්ති සහගත නෑ කියල ජනාධිපතිතුමා විශ්වාස කළා," යනුවෙන්ද පැවසීය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය 'අනියම් ලෙසින් පාලනය කිරීමේ අරමුණින්' විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කළ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන්ටම අවසානයේ එම යෝජනා බූමරංගයක් බවට පත් වූ බවත් ශිරාල් ලක්තිලක සංදේශයට පැවසීය.

වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන අප්‍රේල් මාසයේ නිමා වන නමුත්, ජනපතිවරණයෙන් දින 100 කට පසුව පාර්ලිමේන්තුව පසුගිය ජනපතිවරණයේදී එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන්නේය.

එහෙත් 19 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගැනීම් වස් අප්‍රේල් 23 වැනි දිනට නියමිතව තිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වරින් වර කල් දැමීමට ජනාධිපතිවරයාට සිදු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර