ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමු ගනියි

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව සුපිරි පිති කරු කුමාර් සංගක්කාර පවසයි.

කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ

ශ්‍රී ලංකාවත් පකිස්ථානයත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද, සෙනසුරාදා කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගැනීම ගැන තම නිල ප්‍රකාශය සිදු කළේ.

තමන් ලෝක කුසලාන තරඟාවළිය අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සුදානම් වුවත් එවකට සිටි තේරීම් කමිටු නිලධාරීන්ගේ ඉල්ලීම මත පකිස්ථානය හා ඉන්දීය තරගාවලියේ තරග දෙක ක්‍රීඩා කිරිමට එකඟ වූ බවයි කුමාර් සංගක්කාර ප්‍රකාශ කළේ.

අවසන් තරඟය

තම උපන්ගම වන ‘මහනුවරදී’ අවසන් තරඟය ක්‍රීඩා කිරීම තම කැමැත්ත වුවත් තරඟ කාලසටහන අනුව යෙදෙන ස්ථානයේ ක්‍රීඩා කිරීමට තමන් සුදානම් බවයි ඔහු පැවසුවේ.

දේශපාලනයට පැමිණෙන බවට සමාජ මාධ්‍යවල පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පැවසුවේ තමන් දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තුවක් නැති බවයි.